Monday, 7 March 2011
වාරණයට එරෙහිව- ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය
උපුටා ගැනීමකි.
සියල්ලන් වෙත දැනුම් දීමයි.
ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත.
මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්‍රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්‍යතාවයක් මාර්ගයෙන් ව්‍යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්‍රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්‍යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්‍ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්‍ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.)
කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්‍රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්‍රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති.
දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ swimfanlk@gmail.com ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
- Taboo
Thursday, 3 March 2011
නලියා ගැන තවත් කතා 1.
නලියා මුංතුල්ල තක්සලාවේ කොන්ටම් උගන්වමින් සිටින අවදියයි. කොන්ටම් කීවාට මුංතුල්ලේ කොන්ටම් නැති නිසා චින්තනයත් ගණිතයත් උගන්වමින් බටහිර විද්‍යාවට අම්ම මූ නැතිව බනිමින් පොරවෙන්නට දඟලන කාලයයි. අනුකාරක චින්තනයෙන් අත්මිදෙන ආකාරය කියා දෙමින් මෙසේ හුදී ජනයාට යහමග පෙන්වමින් කාලය ගත කරන අතරේ තම පුත්‍රයින් දෙදෙනාම නොම්බර එකේ අනුකාරක පාසල වන රෝ-ඇල් කොලීජියට යවන්නේය. මුංතුල්ලේ සිට රෝ-ඇලට පයින් යන දුරය, තාප්පෙන්ද පැන යා හැක.
සාමන්‍ය ජන ජීවිතය ගැන මෙලෝ තැකීමක් නැති, කිසිම අංගපුලාවකට නැති කොටි ත්‍රස්තවාදීන් හිටිවනම රෝ-ඇල අසලම එවකට පිහිටා තිබූ "ඒකා-ආබද්ද හමුදා මූලස්ථානය"ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලහ. මුලු තුම්මුල්ලම දෙදරුම් කවමින් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ඒකා-ආබද්දේ ගේට්ටු කඩාගෙන ඇතුල්වී පුපුරා ගියේය.
නලියා වහා මුංතුල්ලෙ විවෘත ආපන ශාලව ඉදිරිපසට විත් බෙල්ල දික්කර බැලුවේය. හාපෝයි!, රෝ-ඇල දිහාවෙන් කලු දුං ගුලියක් නගිනු පෙනේ! තර්ස්ටන් පාරේ තදබදය මැද්දේ සයිරන් හඬ නංවමින් ගිලන් රත එක පේලියට ඇදී යයි. නලියාට පුත්තු දෙන්නා සිහිවිය. අඩියට දෙකට රෝ-ඇල දෙසට දුවන්නට විය.
පැයක් පමණ අනෙකුත් දෙමව්පියන් සමඟ පොරකා තම පුතුන් දෙදෙනා සොයාගත් නලියා උන් දෙන්නා අතින් අල්ලගෙන තර්ස්ටන් පාර දිගේ ගෑටුවේ තුන් හිතින්ම ප්‍රබාකරන්ගේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට නොසෑහෙන්න සාප කරමිනි.
තර්ස්ටන් පාරේ තක්සලා ගේට්ටුවෙන් අතුල්වනවාත් සමඟම නලියාට මුන ගැසුනේ තුන්වන වසර ගනිතය විශේෂවේදී උපාදිය හදාරන සිසුන් තිදෙනෙකි.
"බලනව අයිසේ! අරහෙ කොටි ගහල. මං ගිහිල්ල මේ පොඩි උන් දෙන්න හොයාගත්තේ. තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ" නලියා තම දුක කීවේය.
සිසුන් අතර සිටි චින්තන විරෝධියෙක් " ඉතිං සෑර් ලමයි දෙන්න රෝ-ඇල් එකෙන් අස්කොරල පනිනපිටියේ ධර්මපාලෙට යැව්වනං කිසි කරදරයක් නෑනේ" කීවේ ඔලොක්කු සිනාවකින් මුව සරසාගෙනය.
නලියාට කට උත්තර නැත! අත මිට මොලවා සිසුන් තිදෙනාට රැවූ නලියා "මේ ලමයි දෙන්න ඉන්න නිසා මම කියන්නේ නැහැ!" කියමින් අඩියට දෙකට මාරුවුයේ අනුකාරක චින්තනය නිසා මොටවී ඇති සරසවි සිසු-මොල වලට සාපකරමිනි.
මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය.
Saturday, 29 January 2011
තොපි මාවත් අන්දන්නද?
ඒ ජෙප්පන් අවි ගෙන සිටි භීෂන සමයයි. ජෙප්පන්ට එරෙහිව රජයේ නිල-නොනිල හමුදා අඳුරු සෙවනැලි අස්සේ දඩයම් කල අවදියයි. පේරාදෙණිය සරසවිය ජෙප්පන්ගේ බලකොටුවක්ව තිබූ කාලයයි.චම්පක ජෙප්පන් සමඟ මතවාදීමය කරුනු උඩ ගැටී විරසකවූ කාලයයි. දේශප්‍රේමයේ නාමයෙන් මව්බිම සුරකින වීරයා මම්ම නොවේදැයි සිතමින් පසුවූ කාලයයි. අක්බාර් එකේ ප්ලේන්ටි බොමින් රතන හා එක්ව ජෙප්පන්ට එරෙහිව මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ක්‍රියාවට නැංවීම සඳහා පිඹුරුපත් සකසන අවදියයි.
ජෙප්පන්ට එරෙහිව පලමු පෝස්ටර් වෙඩිමුරය පත්තු කරන්නට අවශ්‍ය පිරිස් බලය මඳ කමින් නියව නියවා සිටින චම්පකයාට වැඩිකල් වේලි වේලි ඉන්නට සිදුවුනේ නැත. "තෙල බෙදීමේ"ද, වාග් චාතුර්‍යෙහිද දස්කම් විස්කම් නිසාම පලමු වසර කොලු ගැටයෙක් අක්බාර් එකෙන්ම "බා" ගන්නට හැකි විය.
අක්බාර් එකේ ඇල් ප්ලේන්ටිය බොමින් චම්පකයා අලුත් කොලුගැටයා හා රහස් සංවාදයකට මුල පිරුවේය.
"මල්ලි අපි අලුත් සංවිධානයක් හදන්නයි යන්නේ ජෙප්පොන්ට විරුද්ධව. මල්ලි මේකෙ උප සභාපති කරන්න තමයි කට්ටිය හිතං ඉන්නේ." කොලු ගැටයා මුරුංගා ගසේ කරටියට යාන්තම් පහලින් ස්තාන ගත කරන්නට චම්පක වග බලාගනී.
කොලුගැටයා විශ්මයෙන් අසා සිටී. මොහොතකට කලින් ඉන්දියානු භූ-දේශපාලනික උපක්‍රම සහ චීනය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන පුළුල් දේශනයක් දී තම ගෞරවය දිනාගත් චම්පක "අයියා" කියන්නේ මට වඩා සුදුසු එකෙක් මේ මුලු මහත් කැම්පස් තලයේම නැති බවද?
"කවුද කට්ටිය කිව්වේ?"
"කට්ටිය කිව්වේ අනිත් පැකල්ටිවල ඉන්න අපිට සපෝට් අය, කොච්චර නං ඉන්නවද ඒවල.!"
"අරූ, රතනය ඇරෙන්න එකෙක්වත් මට තාම හම්බෙලා නැහැනේ" කොලුගැටයා තම අවංක අදහස තෙපලයි.
"ඒකම තමයි මල්ලි අපි මේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ගැන කට්ටිය දැනුවත් කරන්න ඕනේ, තාම කට්ටිය මම මේකෙ සභාපති කියලවත් දන්නේ නෑනේ.. මේ පෝස්ටර් පාර හරියට ගියොත් ..හහ් ඔන්න බලන්ඩකෝ."
" එහෙනං වැඩේ කරමු අයියේ. මම රෙඩි. රතනය පාප්ප වැඩේ කරල දෙන්නං කිව්ව කියන පරක්කුවෙන්."
"රයිට්, රයිට් එහෙනං අඟහරුවාදට එලිවෙන්න, මම එනව පෝස්ටර් ටික ඇඳන් ගලහ හන්දියට."
-------------------------------------------------
"කෝ මල්ලි එකට නේ එනව කිව්වේ? මම මෙතන මර රෑ වාත වෙනවනේ?"
කොලුගැටයා පාප්ප බාල්දිය බිමින් තබා හති අරියි.." හාපෝ.... මේ රතනය දීපු පාප්පේ මහ ගඳයි, ගිය සතියේ හැදුව එකක් ලු" කොලුගැටයා නැවත් හති අරී.
"ඉතින් මේ බකට් එකට දාගන්න කවුරුත් සප් එකක් දුන්නේ නෑ. ඔක්කොම නහයවල් වහං දුවනව. පාප්ප ගාන්න බුරුසුවක් හෙව්ව හෙව්ව හම්බුනේ නැහැ, අන්තිමට රතනය පන්සලේ කොස්ස දෙකට කඩල දුන්න..බලාගෙන ගියාම ඒකත් නියමයි වැඩේට."
"හරි, හරි. මල්ලි ගාන්න මම අලවන්නං" චම්පක වට පිට බලමින් කියයි. "ඉක්මනට වැඩේ ඉවරයක් කරමු, කියන්න බෑනේ , උඩුගම්පොලයගේ එවුන් ගජරාමෙට කොල්ලො උස්සනවලු"
"අයියේ අර කොලඹ මෙඩ්ඩ, වෙනුර, ඌවත් උස්සලලු"
චම්පකයාගේ හිත ගැස්සී යයි.
" අර වයිශිකේ හිටපු මෑන්ස් නේද?"
"වයිශිකේ කිව්වේ??" කොලුගැටයාගෙන් නැවතත් ප්‍රශ්නයක්.
"වෛද්‍ය ශිෂ්‍ය කමිටුව,..මල්ලි ඔය කොන් හොඳට ඇලවෙන්න උඩිනුත් පාප්ප පාරක් දෙන්න"
ඈතින් වාහනයක් එන හඬක් ඇසේ. ජීප් එකක් බව ඉවෙන් මෙන් කොලු ගැටයා හඳුනා ගනී.
"අයියේ ජීප් එකක් වගේ ..මොකද කරන්නේ.."
"මල්ලි හැංගෙන්න ඕන්නෑ, ඔහොම්ම ඉමු, මේ පෝස්ටර් ජෙපි-විරෝදී නේ,බය වෙන්ඩ දෙයක් නෑ"
ජීප් රතය මහ හඬින් තිරිංග තද කරමින් නවතියි. ඉන් එලියට බහින්නේ තරු දෙකේ පොලිස් නිලධාරියෙකි. තුවක්කු අතින් ගත් සිවිල් ඇඳුමෙන් සැරසුනු පිරිසක් චම්පකයාත් කොලු ගැටයාත් වටකර ගනිති.
පොලිස් නිලධාරියා තම අතවු මිලි මීටර් නවයේ පිස්තෝලය ලෙලවමින් පැමින " ආ කෝ බලන්න මොනවද මේ පෝස්ටර්.. හ්ම්ම්ම්.. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය.. ඒ මොකද්ද ඒ?. යකෝ තොපේ කටේ පිට්ටුද? මොකද්ද මේ සංවිදානේ? කවුද මේකෙ නායකයෝ?
කොලු ගැටයා පොලිස් නිලධාරියාගේ ගෝරනාඩුවෙන් තැති ගනී. බයටම චම්පකයාට ලංවෙද්දී පාප්ප බාල්දිය තුලට කකුල දමන්නේ නොදැනුවත්වමය.
"ෂික් විතරක් මුංගේ පාප්ප නිකං බලු ගූ වගේ" අවි ගත් එකෙක් පිලිකුලෙන් චම්පකයාට ඔරවයි.
"කවුද මේකෙ නායකයා" පොලිස් නිලධාරියා පිස්තෝලය කොලුගැටයාගේ හිසට තබා ගොරවයි.
"මෙයා සබාපති, මං උපසබාපති"
"මෙයා චබාපති, මං හුකචබාපති, ඈ ?" කට ඇදකර කොලුවා කියූවම පුනරුච්චාරනය කල නිලධාරියා " එතකොට තොපේ ලේකම් පංසලේ හාමුදුරුවොද?" යි අසන්නේ නැගී එන කේන්තිය මැදය.
චම්පකයාගෙ වැලමිටි පහර නිසා කොලුවා "ඔව්" කියන්නට ගිය වචන ගිල ගනියි.
"නෑ ඇත්තටම මෙයා සබාපති, මං උපසබාපති" කොලුවා බැගැපත්ව කියද්දී චම්පකයා හිස් අහස දෙස බලා සිටී.
"අනේ බොල හු** ගේ පුතාල තොපි මාවත් අන්දන්නද? මොන සංවිදානෙද යකෝ සබාපතියි උප සබාපතියි පෝස්ටර් ගැහැව්වේ???" නිලධාරියා පිස්තෝල මිටෙන් චම්පකයාගේ බඩට අනී. අවි ගත් එව්වෝද නිලදාරියා අනුව යමින් තුවක්කු මිටි වලින් චම්පකයාටත් කොලුගැටයාටත් හොඳ හැටි සංග්‍රහ කරති.
"දාපල්ල ඕකුන් දෙන්නව ජීප් එකට." නිලධාරියා කේන්තියෙන් අණදෙයි.
නහයෙන් කටින් ලේ පෙරාගෙන වැටී සිටින චම්පකයාත් කොලුගැටයාත් ජීප් රිය තුලට විසිවෙයි.
සිද්ධිය සැලවී විශ්ව විද්‍යාල ආචර්යවරයෙකු සමඟ චම්පකයා බේරගන්නට පොලීසි එන රතනයා දකින්නේ හොඳටම පහර කා සිහිසුන්ව පොලිස් කූඩුවේ වැටී සිටින සගයින් දෙදෙනාය.
"සංවිධානයේ නායකයින් කවුද" යන ප්‍රශ්නය නැවත නැවතත් රැ තිස්සේ ඇසී ඇති බවත්, ඊට පිලිතුරු ලෙස කොලු ගැටයා එකම උත්තරය දී ඇති බවත් රතනයා ඇතුලු සරසවි ප්‍රජාව දැනගන්නේ ඊට සතියකට පසු රෝහලේදී චම්පකයාට සිහි එලැඹි විටදීය.
මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය. යාන්තමින් හෝ සැබෑ ලෝකයේ අතීත සිදුවීමක් නිරුපණය කැරෙන බව හැඟේ නම් එය කතෘ ගේ දක්ෂතාවය බව පමණක්ම නිසා වූවක් ලෙස සැලකිය යුතු.
Tuesday, 18 January 2011
කවුද යකෝ තොට නම දැම්මේ?
මේ ටැබූ ගේ මෑතක පෝස්ට් එකක් කියවීම නිසා හිරවු සූස්ති දුමාරය මැද සිහිවු කතාවකි.
ඔහු උගතෙකි, හෙලයේ අරුත් බර වදන් මවන් දෙවියාය. ජාතියටම නම් දාන්නේ ඔහුය.
කැනඩාවේ වෙසෙන ඔහුට දුරින් නෑයෙක් වන කාන්තාවක් එකම දරුවා සමඟ ලංකාවට සැපත් විය. කොලුවා කටකාරය, වැඩිහිටන්ට ගරු සරු දැක්වීම වැනි හෙල ගති නැත. කැඩිච්ච සිංහලෙන් දොඩවයි. මහ හෙලයාට මල පැන්න නමුත් හෙල සිරිත්-විරිත් නිසා මුවින් නොබැන ඉවසා වදාලේය.
"ග්‍රැන්පා ග්‍රෑන්පා" කියමින් චාරයක් නිනව්වක් නැතිව එහෙ-මෙහෙ දුවන කොලුවා වරෙක මහ හෙලයාට හැදූ තේ එක බී හෙලයා කුපිත කලේය. තවත් වරෙක නිවසේ මහ හෙලයාගේ හාන්සි පුටුව බදු ගත්තාසේ පුකත් උඩ දමාගෙන දිගෑදී මහ හෙලයා නොදැක්කාසේ සිටියේය. මහ හෙලයාට මූව කන්න කෙන්තිය. නමුත් මූලග්ගින්න වැඩිවන තුරුත් ඉවසා සිටියේ නෑකම නිසාය.
දිනක් මහ හෙලයා හාන්සි පුටුවේ සිටියදී දුටුවේ "ඉංග්‍රිස්" සින්දුවක් මුමුනමින් ඒ අසලින් පැන පැන යන කොලුවාය. කොලුවා දුටු මහ හෙලයාට හදිසියේම මතක් වුයේ ජාතියටම නම් දමන තමාට මේ වසවර්තියාට නමක් දාන්නට නොලැබුනු බවය. දුරින් නෑ වන ගැහැනියද මු වගේම බක-පණ්ඩිත අම්මන්ඩියෙක් බව හෙලයාට මතක් විය.
"ඒයි කොල්ලෝ මෙහෙ වරෙං!" හෙලයා හඬ අවදි කලේයෙ.
"වෝට් ??" කොලුවා නුරුස්නා බැල්මකින් පිලිතුරු දුන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.
"මෙහෙ එනවා"
කොලුවා මහ හෙලයාට කිට්ටු විය.
"මොකද්ද ඔයයිගෙ නම ?" හෙලයා විමසන්නට විය.
කොලුවා පිලිතුරක් නැතිව බලා සිටී.
"නම,නම.. නේම් ??"
"මයි නේම්? ...ඉරෝශන්"
හෙලයාට අම්බානකට තද විය."ඉරෝශන් ??"
"යා, ඉරෝශන්"
" ඇයි යකෝ, ඔයිට හොඳයිනෙ තොට හෝදපාලුවා කියල දැම්මනං" මහ හෙලයා කිවේ දවස් ගනණක කේන්තිය පිටකරන ගමන්ය.
"මාම්, වොට් ඉස් ෂොදාපාල්වා ?" ඈතින් ඇසෙන කොලුවා සහ මව අතර සංවාදය රස විඳිමින් හෙලයා හාන්සිපුටුවේ වාඩි වූයේ දින ගණනකින් නොවිඳි තෘප්තියකිනි.
Saturday, 14 August 2010
චීනාට ලැබුනු ප්‍රවේශ පත්‍රය
සමහර රටවල රාජ්‍ය තාන්ත්‍රික විදේශ සේවය ගරු ගාම්භීර වැදගත් රස්සාවකි. සමහර සිරි ලාංකීය තානාපති කාර්යාල වල ඉන්නා ඉන්ගිරිසිත් බැරි මීහරක් මෙන් නොව, ඒ ඒ රටේ බාසාව දන්නා එකෙක් හිරිමල් වයසේදීම පුරුදු කිරීම මේ රටවල සිරිතය. සමහර විට එකෙක් නොව දෙන්නෙක්ම පුරුදු කරති. උන්ගෙන් එකෙක් එරට එම්බසියේ ස්ථානගත කරන අතරම අනෙකා විදේශ සේවයේ "අහවල් රට පිලිබඳ එක්ස්පර්ට්" ලෙස වැඩකරයි. චීනය මේ අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ඕනෑම රටක නායකයෙක් චීනයට සැපත් වන්නේ නම් ගුවන් තොටුපලේදී ඔහුගේ මවු භාෂාවෙන් ඇමතිය හැකි නිලධාරියෙක් උන්ගේ විදේශ සේවයේ සිටිති.
මේ එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල සිදුවුනා යැයි කියන සිදුවීමකි. ඒ කාලයේ දැන් මෙන් නොව රටේ ප්‍රවාහනය රජයේ ලං.ග.ම ඒකාධිකාරයක්ව පැවති යුගයකි. කතාවේ එන චීන රාජ්‍ය තාන්ත්‍රිකයා නාඹර කොලු ගැටයෙකි. චීන විදේශ සේවයේ නියමයෙන් මේකාට විද්‍යෝදය විස්ස විජ්ජාලයේ අවුරුදු තුනක සිංහල හැදෑරීමට නියම කෙරුනි. ඇස්වාට්ටුව පැත්තේ තනි කාමරයක නැවතී මේකා ටැක්සියකින් විස්ස විජ්ජාලයට එයි. අටෝරාසියක් දුක් විඳිමින් සිංහල භාෂාව ප්‍රගුනකරයි. චීනා ප්‍රියමනාපය. එබැවින් වැඩිකල් නොයා ලාංකීය කොල්ලන් කිහිපදෙනෙකු හා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තේය. කොල්ලන් හා එක්වී චීනා බස්රථ වල යයි. ටිකට් ගන්නේ උගේ අලුත් මිතුරන්ය. චීනා ඒ සඳහා මුදල් ගෙවන නමුත් සිංහල බැරි නිසා බස් කොන්දොස්තර හා කතා බහට අකැමැතිය. දැන් ටැක්සියේ යන්නේ තනිවම යන ගමනකදී පමණි.
කාලයත් සමඟ චීනා බැරි මරගාතේ සිංහල හසුරුවන්නට ඉගෙනගත් නමුත් උගේ වැඩි කැමැත්ත පැරැණි සිංහලයටය. කථිකාචාර්‍ය වරුන් කිහිපදෙනෙක්ම මේ පිලිබඳව අවවාද කලත් චීනාගේ එදිනෙදා ජීවිතයේ කතා බහ පැරණි සිංහලයෙන්මය. ඊට හරිහමන් හේතුවක් නොවූවත් තමන් සමඟ සිංහල ඉගෙන ගන්නා "ලෝකල්" සගයන් මේ සිංහලය ට යම් ගරුසරුවක් බියක් දැක්වීම නිසා එයම ප්‍රගුණ කරම්හයි සිතුවා විය යුතුය. කිහිප අවස්තාවකදීම බැචියන් ඉදිරියේ මේ පැරණි සිංහලෙන් සම්භාෂණයට ගිය චීනාට, උන් විශ්මයට පත් කිරීමට හැකිවීම නිසා උපන් ආඩම්බරයද හේතුවක් වූවාට සැක නැත. සමහර විටෙක "රාජ්‍ය තාන්ත්‍රික" පුහුණුව නිසා පැරණි සිංහලය වඩාත් ආචාර ශීලි වීමේ ලක්ෂනයක් යැයි සිතුවා වන්නටද පුලුවන.
ඒ කෙසේ වෙතත් දිනක් චීනා තනිවම විජේරාම හන්දියට පියමැන්නේ ඇස්වාට්ටුවට යන බසයක් අල්ලා ගැනීමටය. දේශීය මිතුරු කැල යම් හේතුවක් නිසා ඌට මග හැරිනි. එදින තමන්ටම බස් ටිකට් පත ගැනීමේ කර්තව්‍යය කරගන්නට වන බව සිහි වුනු චීනා, වඩ වඩාත් ආචාරශීලී වීමට ඉටා ගත්තේය.
138 බස් රථයේ සිටි ටිකට් කඩන කොන්දොස්තර වෙත චීනා ලංවූයේ මුහුණ පුරා මවාගත් සිනාවකිනි. කොන්දොස්තර තොමෝ අඩියක් පස්සට ගත්තේ "මේකා මොකාට එනවාදැයි" සිතමිනි.
"මහත්තය කොහාටද ?" කොන්දොස්තර තෙමේ ටිකට් කඩන මැෂිම කරකවන්නට සුදානමින් ඇසුවේය.
චීනා දිගු හුස්මක් ගෙන උගුර පාදා හඬ අවදි කලේය.
" එම්බා බස් පලුව !!! මට අක්ෂිසායනාගාරයට ප්‍රවේශපත්‍රයක් දෙව !!!"
කොන්දොස්තර තෙමේ අන්ද මන්ද වී ගියේය. චීනෙක් සුද්ද සිංහලෙන් මොනවාදෝ දොඩවයි. එක්කෝ මූ පිස්සෙක් විය යුතුය. නැතිනම් කැම්පස් කොල්ලන්ගේ සංවිධානාත්මක විලම්බීතයක් විය යුතුය. "බස් පලුව.." මෙවැනි අපහාසයක් අවුරුදු 18 ක සේවා කාලය තුල කවරදාවත් සිදුවී නැත. කොන්දොස්තර තෙමේගේ ඉවසීමේ සීමාව පැන්නේය.
"හෑ!!.. මොකක්. බස් පලුව ??! මේ ඕයි! මේක බස්පලුවක් නෙවෙයි. හොඳට බලනව! මේක සම්පූර්න බස් එකක්! "
චීනා එයින් සැලුනේ නැත. කොන්දොස්තර මහතාට තමන් කියූ දේ තේරී නැත. තේරුනා නම් තරහ ගන්නට හේතුවක් නැත. බසයේ රියැදුරුද මගීන්ද තමන් දෙස හැරී බලනු පෙනේ. සමහර විට රියදුරාට තේරුම් ගියහොත්!
"තට නොතේරෙන්නේ නම් කැණියාගෙන් අසව!!!" චීනා වහා කීවේ රියදුරා දෙස බලමිනි.
කොන්දොස්තරට මාරයා ආවේශ විය.
" මොකක්ද කිව්වේ??. කැ_යා!? යකෝ මෙච්චර මිනිස්සු ඉන්න බස් එකේ කුනුහබ්බ කියන්න,.. හිටු තොට !" ටිකට් කඩන මැෂිම පසෙකට දැමූ කොන්දොස්තර තෙමේ ඉදිරියට පැන චීනාගේ කණ හරහා එල්ල කල අතුල් පහරින් ඒකා බිම ඉන්දවිය.
චීනා සහ සිරි ලංකා ජනතාව අතර පලමු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව එසේ නිමවිය.
Wednesday, 4 August 2010
වෂී ගුලිය
"අප්පච්චි අප්පච්චි! අන්න අර කොල්ල එනව."
"මොන කොල්ලද බොල?" පොඩි එකීගේ කලබලය යම් කරදරයක පෙරනිමිත්තක් සේ ගුරුන්නාන්සෙට හැඟේ.
"අර කැම්පස් කොල්ලා අප්පච්චී.!"
"මොකාද බොල මට නිනවු නැති හැටි හැබෑට?"
"අර කටුබැද්දෙ ඉඳල එනවා කිව්වේ. අර වෂීයක් කරගන්න සල්ලි දුන්නේ"
"හුටා!!" ගුරුන්නාන්සේ අඩියට දෙකට කාමරය ඇතුලට පැනගත්තේය. වෂී ගුරුකමක් කර ගැන්මට ආ තරුණ ගැටයෙකුගෙන් රුපියල් පහලොස්දාහක් කඩා ගත්තේ මීට සති දෙක තුනකට උඩදී බව ගුරුන්නාන්සේ පසක් විය.
" කොහොමද යකෝ මේක මට අමතක වුනේ??" ගුරාට තම මතකය ගැන මහා කලකිරීමක් ඇති විය. මාස තුනක් පමණ අතේ පිච්චියක් නැතිව වේලි වේලි සිටියදී පෑදුනු මේ "පිනට" පින්සිදුවන්නට සියලු නය තුරුස් සුද්දෙක් මෙන් ගෙවා දැමූ අයුරු මතක් වන විට තාමත් සිතට හීනි ආඩම්බරයක් මතුව එයි.
"අප්පච්චි ගෙදර නෑ කියන්නද??"
" ම්.ම්..නෑ ඇවිත් ඉඳගන්න කියහන්. මම මොකක් හරි ගැටයක් ගහන්නං"
මොහොතක් යන්නට පෙර ගැටයාගේ මෝටර් සයිකලය ගේ ඉදිරිපස නවත්වන හඬද පොඩි එකී හා කෙරෙන ඇල්මැරුනු සංවාදයද ගුරාගේ දෙසවනින් ඇතුල්වුව ගුරාගේ ඔලුවේ වැඩ කලේ මේ මරාලයෙන් ගැලවෙන මගකි.
"යකෝ පුදුම රස්නයක්නෙ" ගුරාට සිතිනි. සුමානයකින් හමාරකින් ඇඟට වතුර දෙකක් දමාගැන්මට නොහැකිවූ බව මතක් වුයේ සර්වාංගයෙන්ද පාන්කඩ වූ සරමෙන්ද නගින හඩු ගඳ නිසාවෙනි.
"කොහොම හරි බොරුවක් කියල තව කල් ගත්තනං.." ගුරා වම් අතේ මවිල් අතර වූ දාඩිය මිශ්‍ර කුනු දකුනතින් රෝල් කලේ යම් උප්පරවැට්ටි අදහසක්, ගල් පැලෙන බොරුවක් ඔලුවට එන තෙක් කල්මරමිනි. දහඩිය නිසා එකට ඇලෙන සම්-කුනු ගුලිය මදටිය ඇටයක් තරම් වන්නට වැඩි වෙලා නොගියේය. හදිසියේම ගුරාට ගණ දෙවි නුවණ පහල විය. දකුනතේත් පපුවේත් දහඩිය-කුනු ගුලි එකතු කරමින් කුනු ගුලිය රටකජු ඇටයක ප්‍රමාණයට වර්ධනය කල ගුරා ඉන් නොනැවතී කිහිලි වලද, සරම උස්සා ඉකිලි වලද කුනු එකතු කරමින් එය මිදි ගෙඩියක් පමනට ගෙන ආවේය. දැන් ඉතින් තවත් හැංගිමුත්තං කෙලීමේ තේරුමක් නැත.
"ආ! මේ මහත්තය නේ ..මං ඒත් කල්පනා කරා වැඩේ ඉවර වෙලත් තාම පරක්කු ඇයි කියල."
ගැටයා ලැජ්ජාවෙන් ඇඹරෙයි. "නෑ මේ දවස්වල මේ විභාග..ඒකයි."
"මහත්තයා වැඩිය කතා ඕන්නෑ, මේන්න මේ කොලේ ඇතුලෙ තියෙනවා පන්ලක්ෂහතලිස්දාස් වාරයක් ජීවම් කොරාපු වෂී ගුලිය. දැන් කොරන්න තියෙන්නෙ මහත්තයගෙ හිසකේ පොඩ්ඩක් මේකට එකතු කරල ගෑනු ලමයට කවෝන එකයි."
"එච්චරයි?" ගැටයා අසන්නේ විශ්මයෙනි.
" ඔව් වොව් වොව්,..හැබැයි ඔක්කෝම ටික ඇඟට ඇතුල් වෙන්ට ඕනෑ ප්‍රතිපල ලැබෙන්න නං."
ගැටයා ගුලිය මහත් භක්තියෙන් අතට ගෙන ප්‍රවේශමෙන් තම මල්ලේ තැන්පත් කරයි.
"මේක තියාගන්නකෝ" ගැටයා රුපියල් පන්දහසක් ගුරා අත තබයි.
" නෑ ඕනැන්නෑ මහත්තයෝ" ගුරා එය සාක්කුවෙ දමාගන්නා ගමන් කියන්නේ බයාදු හඬිනි."
"එහෙනම් මං ගියා. වැඩේ කෙරුනොත් ඉතුරු හරිය..ආ!"
ගැටයා දඩුමොනරයේ නැගී නොපෙනී යයි.
--------------------------------------------------
"යකෝ ආන්න අර කොලුගැටය, ඊයෙත් උඹව හොයං ගෙදර ආවයි කියන්නේ" සියදෝරිසා කියන්නේ හරියට බලා සිටියාක් මෙනි.
"බං, මම ගෙදර හිටියා. එලියට නාවට" ගුරා ඔලොක්කු සිනාවකින් මුව සරසා ගනියි.
"මේ බලහං, ඕකුන් කැම්පස් කොල්ලෝ. ඕකුන් රවට්ටන්න ගිහිල්ල අපි හැමෝටම සම්බුව හම්බෙයිද මන්දා..ඌ යනිං ගමන් මාගරට්ලගෙ කඩෙන් අහල තියෙනවලු උඹ ගැන..ලොකු හදිස්සියකින් ඉන්න පාටයි පෙනිල තියෙන්නේ"
"කාට කාටත් කියහල්ල මං නිදන් හාරන වැඩකට ගිහින් එන්නෙ කවද්ද කියල කියන්න බැහැයි කියල..අපෙ කෙලිටත් ඔය කතාව කියන්න කියල තියෙන්නෙ..පාරක් දෙකක් ඇවිල්ල ඕකටම ඇති වෙලා නවතියි" ගුරුන්නාන්සේ කියන්නේ සිත තුල නැගී එන බිය මුසු දෙගිඩියාව මැඩගනිමිනි.
-----------------------------------------------
පීටර්ගේ "බොකුදිරාස්" වීදුරු දෙක තම සිත තුල හොල්මන් කරන අභූත සිතුවිලි සියල්ල අමතක කරවන බවක් ගුරාට හැඟෙයි.
"කැම්පස් වුනා නැතා..කොල්ලෝ කොල්ලොමයි..ඕවා කරල හැදෙනව මිසක් මිනීමරන්නෑ නෙව"
"ආ ..ගුරුන්නාන්සේ...අයියෝ මම කොච්චර දවස් ආවද හම්බෙන්න."
ගුරාට උතුර දකුන නිනව්වක් නැත. මේකා මතු වූයේ කොහෙන්ද? ගැටයා මග රැක සිටියාවත්ද?..
"අ..ආ ම.මම මේ නිදන් වැඩකට.."
"ඔව් මට කිව්ව" ගැටයාගේ හඬේ ඇත්තේ මිතුරු නාදයකි. මොන විගඩමක් වෙන්නට යන්නේදෝයි ගුරාට සිතා ගත නොහැක.
"මෙන්න ගුරුන්නාන්සේ ඉතුරු විසිදාහ..මේක දෙන්න මම කීපාරක් ආවද..ගනන්කරල බලන්න."
"හෑ??..මහත්තය හැබෑට මොකෝ වුනේ"
"වැඩේ හරි, ලමය කැමැත්ත දුන්න" ගැටයා පවසන්නේ රටක් රාජ්ජයක් දිනූවෙක් ලෙසිනි.
"..අර ගුලිය..ඔක්කොම.?"
" ඔව් ඔව් ඔක්කොම ටික ගිල්ලෙව්ව අයිස් ක්‍රීම් එකකට දාල"
ගුරුන්නාන්සේට මහා පිලිකුලක් දැනෙයි. පීටර් ගේ "සුදු ෆැන්ටා" බුලියේ දියවී සිටි ගැරඬියා දුටු දිනයේවත් මෙතරම් පිලිකුලක් ගුරාට දැනී නැත. ඔක්කාරයට එන්නාක් මෙනි.
"එහෙනං මං ගියා."
"හොඳමයි මහත්තයෝ..තව යාලුවෝ හෙම ඉන්නවනං එක්කං එන්ඩකෝ." ගුරා කියන්නේ බෙල්ලේ සිට කන දක්වාවු ප්‍රදේශය පිරිමදිමින් තඩි කුනු ගුලියක් එකතු කරන අතරතුරය.
Subscribe to:
Posts (Atom)