Friday, 30 July 2010

ජාතික චින්තනයට/ඇඳුමට Sri Lankan සැලකීම.



එක්තරා විස්ස විජ්ජාලයක, විද්‍යා නොවන පීඨයක අංශ ප්‍රධානී මහැදුරා සහ තවත් කථිකාචාර්ය වරයෙක් සම්මන්ත්‍රනයකට සහභාගී වීමට ලන්ඩන් බලා පිටත් වූහ. මහ ඇදුරා සම්පූර්න බටහිර ඇඳුමින් සැරසී එද්දී සගයා සැරසී ආවේ ජාතික ඇඳුමිනි. ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ එක ලඟ අසුන් දෙකක හරිබරි ගැසී හිඳගත් මේ දෙදෙනාටම විදේශ ගමන් මැජික් නොවන නිසා අතරින් පතර වචනයකින් දෙකකින් දොඩමලු වෙමින් ගුවන් යානය ගුවන් ගත වනතෙක් සැහැල්ලුවෙන් ගත කලහ. ගුවන් යානය ගුවනට නැගී සුලු වෙලාවකින් සුරූපී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ට්‍රොලියක් සමඟ මේ දෙදෙනා වෙත පැමිනියාය.

මහඇදුරා ලැප්ටොප් එකේ වැඩකි. ටයි එක වරින් වර කී බෝඩ් එකට වැටෙන එක වලකමින් එහි අකුරු ඔබයි. කෝට් බෑයේ උඩ සාක්කුවේ බෝඩින් පාස් එකත් පාස්පෝට් එකත් එලියට පෙනේ.

ශ්‍රී ලංකන් මොනරිය ශෘංගාරාත්මක හඬකින් මහැදුරු ඇමතුවේය.

"What would you like to drink sir? .., we have scotch, red rum, red wine, white wine, tea, coffee, coke and fruit juice"
("මහත්තය මොනවද බොන්නේ?.. අපි ගාව තියෙනව විස්කි, රෙඩ් රම්, රෙඩ් වයින්, වයිට් වයින්, තේ, කෝපි, කෝක් සහ පලතුරු යුෂ ")


" I'll have a scotch on the rocks"
(" "මට විස්කි අයිස් එක්ක.")

මහැදුරු පිලිතුරු දුන්නේය.


සගයා බෝතල් අඩි කන්නාඩි දෙක දමාගෙන සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන කතාවේ සුලු සුලු වෙනස්කම් කරමින් බෝල්පොයින්ට් පෑනකින් කුරුටු ගායි.අත් අකුරු වෙද මහත්තයෙක් සිහියට නංවයි. ජාතික ඇඳුමට යටින් බැනියමත් කිහිලි වල දාඩිය පැල්ලනුත් යාන්තමින් පෙනේ.


මොනරිය අමුතු වෙසක් ගත්තාය.

"මේ!.. මොනවද බොන්නේ? තේද කෝපිද ?"

මොහොතකට පෙර තිබු ලයාන්විත හඬ නැත. හරියට බීරෙක්ට කතා කරන්නාක් මෙනි. වාග් විලාශය කර්ණ කඨෝරය. අමු හිංඟලෙනි.

සගයාත් මහඇදුරත් එකිනෙකා දෙස බලමින්ද ගුවන් සේවිකාව දෙස බලමින්ද මද සිනා පෑහ.

"ඉක්මනට කියන්ඩ..පරක්කු වෙනවා" මොනරිය නිතඹ ගස්සා අමනාප හඬකින් අනකලාය.

සගයා සිනා මුසු මුහුනින් මහැදුරු දෙස බලමින් මොනරිය ඇමතුවේය.

" I am travelling with him,.... I'll have a glass of red wine"

("මම මෙයත් එක්ක යන්නේ,.. මට රතු වයින් වීදුරුවක්")


එකවරම ලද ප්‍රතිචාරයෙන් ක්ෂනයක් ගල් ගැසුනු මොනරිය රතු වූ මුහුනින් යුතුව එතැනින් චුත වුයේ " I ..I'll be right back" කියමිනි.

Monday, 26 July 2010

දියතලාවෙන් ගඳම ගඳ බොග කතාවක්



මේ කතාවට හේතු පාදක වන්නේ අපේ මිතුරන් පිරිසක් නුවර එලිය, බණ්ඩාරවෙල, දියතලාව ආශ්‍රිත සීතල කඳුකරය පීරමින් අරක්කු බෝතල් හිස් කරමින් ගිය විනෝද ගමනකි. පිරිසෙන් එකෙකුට බීපු අරක්කු වර්ගය හෝ බයිට් වර්ගය දිරවා ගන්නට බැරිවිය. දින ගානක් එක දිගට බීම නිසා හෝ එසේත් නැතිනම් නැවතී සිටි සංචාරක නිවසේ කෝකියාගේ ඉවුම් පිහුම් නිසා හෝ හැදුනේ අසාධ්‍ය බඩේ අමාරුවකි. දියතලාවෙන් නික්ම එද්දි මතු නොවු රෝග ලක්ෂණ වෑන් රතය තුලදී පෙන්වන්නට විය. "මචං මට යන්නම ඕන මචන්" අපේ එකා මූන ඇඹුල් කරමින් පින්සෙන්ඩු වන්නට විය. "පාරෙ තියෙන ගෙදරකටවත් යන් මචන්" මේකා බැගෑපත්වෙයි. "වායු පාලනය" මෙන්ම "හඬ පාලනය"ද මේ වන විට අප මිතුරාගෙන් ගිලිහෙමින් තිබින. කර කියාගත දෙයක් නොමැතිව අසරනව රිය එලවන මිතුරා අහම්බෙන් මෙන් පොදු වැසිකිලියක් යයි හැඟෙන තැනක් දැක වහා වාහනය හිටිවනම නැවතුවේය. බැලූ බැල්මට පැරණි ගොඩනැගිල්ලක් වුවද අහල පහලින් ගලන වතුර පාරවල් සහ නහයට දැනෙන වැසිකිලි ගඳ බඩේ අමාරුවෙන් නලියන මිතුරාගේ දෙනෙතට රසඳුනක් විය.

ගොඩනැගිල්ලේ වැසිකිලි කාමර තුනකි. දෙවරක් නොසිතා පලමු කාමරයට රිංගූ මිතුරා දොර වසන්නට අගුල සෙව්වේය. අගුලක් නැත. අපේ එකා මැද කාමරයට පැන්නේය. එහිද අගුලක් නැති නමුත් හැට්ට කට්ටක් අමුනා තාවකාලික අගුලක් නිමවා තිබින. වහ වහා ඇඳුම් උනා දොරේම එල්ලු මිතුරාට වෙලාව ඉතිරිව තිබුනේ යාන්තම් ඇනතියා ගන්නට පමනි.

උදරය ඇතුලේ හිරවී සිටි නාලාගිරියෙකුගේ අවසාන කුංචනාදය වැනි ශබ්දයක් නැගුනේය. එක මොහොතකට ලෝකයම නිසල වූ බවක් දැනින.

මොහොතකින් සියලු දුක් අවසන්ය. ක්‍රමක්‍රමයෙන් වටපිටාව පිලිබඳ සංවේදන ප්‍රකෘති තත්වයට පත්විය. එහෙන් මෙහෙන් සීතල දැනෙන්නට විය. හීන් හුලිජ්ජ ගඳක්ද නැහැපුඩු අගුලු වට්ටවන ගූ ගඳක්ද දැනේ. ස්කොටින් පෑන් එක නෙත ගැටුනු අප මිතුරා වික්ෂිප්ත විය. එය හරියටම පරමානු බෝම්බය දැමු හිරෝශිමාව මෙනි. විනාශය එතැනින් නොනැවතී තම සෙරෙප්පු සහ ඇඟිලි තුඩු , යටි පතුල් දක්වා ගමන් කර තිබේ.

"වතුර ..වතුර. හෝදගන්න ඕනේ ඔක්කොම." මිතුරා අසලින්ම ඇති කරාමය කරකැව්වේය. එය ගැලවී අතට ආවේය. වතුර නැත! කෙමෙන් කෙමෙන් මධ්‍යම කඳුකරයේ සීතල තදින් දැනෙන්නට විය. වතුරත් නැති එකේ විකල්පයක් ලෙස ඇත්තේ බැනියම සහ යට ඇඳුමින් පිසදා ගැනීමයි. ඒ ගැන සිතන වාරයක් වාරයක් පාසා මහා පිලිකුලක් සිතට නැගෙන්නට විය.


හදිසියේම තෙවෙනි කාමරයෙන් උගුර පාදන හඩක්ද , ඒ සමගම කිසිදු හඬ පාලනයකින් තොරව ශරීර කෘත්‍ය කරන හඩක්ද අපේ මිතුරාට ඇසින. මොහොතකට බලපොරොත්තු දැල්වුනි.

"වතුරෝ!!!" එහා කාමරයෙන් මහ හඬක් නැගින. ක්ෂනයකින් යමෙක් ගොඩනැගිල්ලට ඇතුලුවනු ඇසේ. "දහයායි" පිලිතුරු හඬ සමග බෙලෙක්කයක හඬක්ද ඇසේ.

අපේ එකාද යටි ගිරියෙන් කෑ ගැසුවේය. "වතුර!!"

"දහයායි" දොර යටින් වතුර පිරවූ කුඩා සැමන් ටින් එකක් ආවේය. කරන්නට දෙයක් නැත. ටින් එකේ ප්‍රමානය සහ රුපියල් දහය ගැන වාද කරන්නට ගොස් මලපහ සමග සීතලේ මැරුනු මිනිසෙක් ලෙස ඉතිහාස ගතවන්නට උවමනාවක් අපේ එකාට තිබුනේ නැත. පලමු වතුර එක ගැටුනු තම අවයව ඇකිලී සිරුර ඇතුලට යන තරම් සීතලක් දැනුනේය. පශ්චාත් බාගය හිරිවැටී ගොසිනි. පශ්චාත් බාගය සේදු වම් අතේ දබර ඇඟිල්ලත් මැදැගිල්ලත් අතර යම් උනුසුම් ජල්ලියක් ඇලී සෙමෙන් පහලට රූටනු දැනේ. සැමන් ටින් එකේ වතුර ඉවරය.

"වතුර!!!" අපේ එකා නැවතත් කෑ ගැසුවේය.

"දහයායි" ක්ෂනික ව වතුර පිරවූ සැමන් ටින් එක දොර යටින් එයි. වතුර එක වැටෙන වැටෙන වාරයක් පාසා එලොව පොල් පෙනෙයි. දතක් ගලවන්නට පෙර දෙන වේදනා නාශක එන්නත පුකට ගැසුවාක් මෙන් මොහොතකට සංවේදන නැතිවී යයි.

" මල්ලි මේ වතුර ගේන්නේ අයිස්ලන්තෙන්ද??"

සැමන් ටින් 15ක් හුවමාරුවූ පසු අප මිතුරා වෙව්ලමින් ඇසුවේලු.

සෙරෙප්පු සහ කකුල්ද සොදා ගෙන සම්පූර්නයෙන් පිරිසිදුවී මිතුරා අප වෙත ගැහි ගැහි එන විට සැමන් ටින් 23ක් ඒ දොර යටින් හුවමාරුවී තිබින.

Sunday, 25 July 2010

කැන්ගරුදේශයෙන් ගල් කතන්දරයක්



අපේ විස්ස විජ්ජාල පද්දතියෙන් පිටවන සමහරු වැඩිදුර ඉගනීම සඳහා නොයෙක් රට රාජ්ජ වලට සම්ප්‍රාප්තවී පශ්චාත් උපාධි හදාරති. ඒසේ මෙසේ කාලයක් නොව අවුරුදු 3-4ක් ඒ සඳහා වැයකරති. මේ කතාව එවැනි උපාදියක් වෙනුවෙන් අපමණ දුක්ඛ දෝමනස්සයන් ඉවසු එකෙක් ගැනය. තම දරුපවුලත් සමග කැන්ගරුදේශයට ගොඩ බැස්ස අප මිතුරා, එහි වසන අනෙකුත් ශ්‍රි ලාංකිකයන්ගේ පිහිටෙන්, තමන්ගේ වියදමෙන් දැහැමෙන් සෙමෙන් අද්‍යයන කටයුතු කරමින් ජීවත්විය. බිරින්දෑ තොමෝද පූර්ණකාලින රැකියාවක් සොයා ගත් බැවින් දරුවන්ගේ වැඩ කටයුතුද සමග ඉවීම් පිහීම් සඳහා වන කාලය අවම වූයේය. ඒ කෙසේ වෙතත් මේ පවුලට හොදට කටට සැරට ලුනුමිරිස් කරපින්චා තුනපහ දැමූ ලාංකීය ආහාර වට්ටෝරු හැර වෙනසකටවත් ලාංකීය නොවන ඒවා නම් දිරවන්නේද නැත.

නොබෝ දිනකින් බිරින්දෑ තොමෝ මහා ආඩපාලියක් දිගහරිමින් කියා සිටියේ ග්‍රයින්ඩර් එකේ හදන ලුනුමිරිස් වල මෙලෝ රහක් නැති බවයි.
"ග්‍රේස් ලගේ ගෙදරත් මිරිස්ගලක් තියෙනව, සුසිලල ගාවත් මිරිස්ගලක් තියෙනව, ඒකනේ අනේ අර රසට යසට ලුනුමිරිස් හදන්නේ" ඇය තම මතය ඔප්පු කරන්නට සාධක ගෙනහැර පෑවාය. "ඊලඟ පාර ලංකාවට ගියහම ඔයත් එකක් කොහොම හරි ගේන්නකො" අති සරල විසඳුමක්ද ඇය ඉදිරිපත් කලාය. "මල හත් ඉලව්වේ ඔස්ට්‍රේලියාවට මිරිස්ගලක් ගේන්න ?#&*"@" අපේ මිතුරා කටට ආ වචන ආපසු ගිලගත්තේ කුස්සියේ වැඩ ගැන තියරි දැමීම අනතුරු දායක බව දන්නා නිසාය.


සයමසකින් පසු අපේ මිතුරාට ලංකාවට සැපත්වන්නට පොටක් පෑදුනේය. සිරි ලංකාවට ගොඩබැස්ස සැනින් බිරින්දෑ තොමොගේ යෙහෙලියක් තම සැමියාද සමග විත් ගුවන්තොටෙන්ම අපේ මිතුරා පිලිගෙන තම නිවසට ගෙනැවිත් රෑ කෑමත් දී යන්නට සුදානම් වන විට හැඩ දැමූ හුරුබුහුටි මිරිස් ගලක් පරිත්‍යාග කලාය.

ආපසු ලංකාවෙන් යද්දී කස්ටම් එකේ මිතුරෙක් අල්ලාගෙන, (බ්ලැක් ලේබල් බෝතලයක් ද පොරොන්දු වී) බැක් පැක් එකේ මිරිස්ගල සඟවාගෙන කැන්ගරුදේශයට සැපත්විය.

කැන්ගරු ගුවන් තොටෙන් එලියට පනින්නට ඔන්න මෙන්න තිබියදී ඔස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරියෙකුගේ උකුසු ඇසට අප මිතුරා හසුවිය. අනෙක් අතට උකුසු ඇසක් නැතුව වුවද බැක් පැක් එකේ මිරිස්ගල බැදන් රුවිතෙට යන අපේ එකා ගැන සැක පහල නොවී නම් තමා පුදුම.

එකා දෙකා වී කස්ටම්ස් ඇන් බෝඩර් ප්‍රොටෙක්ශන් නිලධාරීන් දුසිමක් පමණ අප මිතුරාව වට කරගත්තෝය. විලිලැජ්ජාවෙන් මිරිකෙමින් දහඩිය ගලන නලල් තලයත් රතුවූ මූනත් පිසදමමින් අපේ එකා ප්‍රවේශමෙන් මිරිස් ගල එලියට ගත්තේය. ගත් සැනෙන් එය උදුරාගත් කස්ටම්ස් නිලධාරීන් සේනාව මේ අමුතු ගල් ගෙඩිය පිරික්සා බලන්නට විය. හැඩයකට කපා ඇති කලු ගලේ එක් පැත්තක යම් රටාවකට මෝස්තරයක්ද ඇති බව මේ නිලධාරීන් නිරීක්ෂනය කලහ. මද වෙලාවක් ඔවුනොවුන් හා දීර්ග කතා බහක යෙදුන නිලධාරීන්ගේ ලොක්කා යයි සිතිය හැකි සුද්දෙක් අපේ එකා වෙත පැමිණ මිරිස් ගල නැවත දෙන ගමන් මෙසේ පැවසීය.

"Sir, we normally do not allow these kind of things, but since this is your TOMBSTONE, on humanitarian grounds we allow you to take this with you."

"මහත්තය, මේ වගේ ඒව අපි සාමාන්‍යයෙන් ගෙනියන්න දෙන්නෙ නෑ, ඒත් මේක ඔබේ සොහොන් කොත නිසා මානුෂික හේතු මත අපි මේක ගෙනියන්න දෙනවා"

තැන්කූ කියු අප මිතුරා අඩියට දෙකට ගුවන් තොටෙන් එලියට පැනගත්තේ
"යකෝ , මෙහේ ඇවිල්ල මෙහෙ විදියට කාල බීලා ඉන්න බැරුව මිරිස් ගල් උස්සන් එන අපි ගැන එහෙම හිතන එකේ වැරද්දක් නෑ තමයි" සිතමින් නැන්දම්මාත් නැන්දම්මාගේ හත්මුතු පරම්පරාවටත් දෙස් දෙවොල් තබමිනි.