Monday, 11 July 2011

ගුරුත්වාකර්ෂණය, පොල් මල, පොල් ගෙඩි සහ පොල් බුරුවෝ







නලින් ද සිල්වා ශ්‍රීමතාණන් නිතර පට්ට ගසන කියමනක් මා අසා තිබේ. ඒ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිබඳව දෙසා වධාරද්දීය. ඇපල් ගෙඩියක් ඔළුවට වැටී ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගොඩ නැගූ නිව්ටන් සම්බන්ධයෙන් කියන මේ කියමන ඉතාම රසවත්, මා වැනි බජාර් එකේ නෝන්ඩි පොරකගේ වුවද අනුමස්තිෂ්කයේ නිම් වළලු පුළුල් කරන එකකි. කළය නමින් වන වෙබ් අඩවියක් අටවා ඇති බැවින් මේ කියමන අවශ්‍ය අයෙකුට පහසුවෙන් සොයා ගත හැක. කළය වැනි දේශීය වතුර රඳවන භාජනයක් නමින් තම වෙබ් අඩවිය නම් කිරීමම එතුමාගේත් එතුමා වටා සිටින අනෙකුත් බුද්ධිමතුන්ගේත් බහුශ්‍රැත භාවය මොනවට පෙන්වයි. "පිරුණු කළේ දිය නොසැලේ" යනුවන් අපේ පැරැන්නෝ කීවේ මෙවැනි කළ ගැන විය යුතුය. නලින්ද සිල්වා ශ්‍රීමතාණන්ගේ ආදර්ශය අනුව යමින් කොත්තුව වැනි සංකර වෙබ් අඩවි වලට එරෙහිව ඉදිරියේදී "වංගෙඩිය, මෝල්ගහ, කුල්ල, ගුරුලේත්තුව" ආදී දේශීය නම් වලින් වෙබ් අඩවි බිහිවූවොත් එය පුදුමයට කරුණක් නොවේ.

නලින් විද්වතාගේ "දැනුම සංස්කෘතියට, රටකට සහ එක් එක් පුද්ගලයාට සාපේක්ෂවේ" යන ප්‍රවාදයට අනුව ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන් සොයාගන්නේ ඇපල් ගෙඩියක් ඔළුවට වැටුණ නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගුරුත්වාකර්ෂණ නියමයකට ඉඩක් තිබිය නොහැක. පොල්, කොස්, සහ දූරියන් වැනි මාරාන්තික ගෙඩි නිසා වසර දෙදහස් හයසීයක කාලයක් තුළ අපේ ජාතියට අහිමිවූ "ලෝකල්" නිව්ටන්ලා ගණන මෙතෙකැයි කිව හැක්කේ නාථ දෙවියන්ට පමණි. වැලිආතා, ගස්ලබු, හෝ කජු පුහුලම් මේ ප්‍රවාදයට නොගැලපෙන්නේයයි, යම් විජාතික බක-පණ්ඩිතයෙක් සමහරවිට ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නලින්ද සිල්වා ඇතුළු ගෝල බාලයන් එවැනි බක-පණ්ඩිත ප්‍රකාශ අවඥාවෙන් යුතුව බැහැර කරනු ඇත. පොල්, කොස් තබා පැණි කොමඩු වැලක් යටින් වුවද සිංහල බෞද්ධයන් යන්නේ නම් ගල් තොප්පියක් දමා ආරක්ෂාව සපයා ගතයුත්තේ මේ ප්‍රවාදයේ ප්‍රායෝගික වටිනාකම නිසාය.

නලින්ද සිල්වා ශ්‍රීමතාණන් මේ සංස්කෘතික සාපේක්ෂතාවය හුවා දැක්වීම සඳහා පොල්මල, පොල්ගෙඩි, හනස්ස, පොල්මුල, කුරුම්බා, පොල්තෙල්, පොල්පැණි, ආදී දහසකුත් එකක් උදාහරණ ගනිමින් වර්ණවත් ලෙස පහදන්නේ බටහිරයන්ගේ සංකල්ප තුළ මේ එකක්වත් නැති බවයි. වෙනෙකක් තබා "ඇට්ටි හැලෙන්න දෙන්නට" පුළුවන් සිංහලයන්ට පමණෙකැයි එතුමා පෙන්වන්නේ ආඩම්බරයෙනි. මීට ව්‍යතිරේකයක් ලෙස පෙන්විය හැක්කේ අනුකාරක විජාතිකයෙක් වන සංගක්කාර කවුඩ්‍රි දේශනයේදී ඇට්ටි හැලෙන්නට දීමයි. ඇට්ටි පමණක් නොව පොරිද හැලෙන්නට දුන්නු බව කාටත් දැන්නම් පැහැදිලිය.

එතුමාට මගහැරුණු තවත් එවැනිම අර්ථවත් උදාහරණ කීපයක් මා මෙසේ සටහන් කරන්නේ එතුමා අවතක්සේරු කිරීමට නොවේ. නිකම්ම "පොල්" යන වදනද අපේ වහරේ පමණක් එන වැදගත් සංකල්පයකි. නලින්ද සිල්වා නොබොන පොල් එතුමාගේ ගෝල බාලයන් හොරෙන් බොන බව රටට රහසක් නොවේ. උන් ඒවා බී, කොන්ටම් ගැනද, නාථ දෙවියන් ගැනද, ආසනික් ගැනද තව තවත් ප්‍රවාද නිපදවති.

පොල් බූරුවා යන්නද අද්‍යතන ලාංකීය සමාජයට සමීපතම යෙදුමකි. පොල් බූරුවා යනු පොල් කන බූරුවෙක් හැඳින්වීමට යොදන්නක් නොවන බව නොතේරෙන්නේ පොල් බූරුවෙකුටම පමණි. මෙහිදී පොල් යන්න යෙදෙන්නේ "බූරුකමේ" විශාලත්වය හුවා දැක්වීම සඳහාය. පොල්ගස තරම් විශාල "බූරුකමක්" ඇති බව මින් හැඟවේ. පොල් බූරුවන් නිසා රටට ජාතියට සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. පොල්බූරුවන් ගණයට වැටෙන්නන් අතර ඉතා ඉහළ "බූරුකමක්" ඇති මහාචාර්යවරු, දොස්තරු, පශ්චාත් උපාධි අපේක්ෂකයෝ සහ විශ්ව විද්‍යාල සිසුන්ද සිටිති. භාවනා කර දෙවියන් හා සංවාද කරන පොල්බූරු දෙන්නුද සිටිති. උන්ගේ පොල් බූරු ප්‍රවාද නිසා කන්නට තියෙන බත් ඇටේටත් කෙලවී, පොහොර සහනාධාරයටත් කෙලවී තිබේ. උන්, නොදන්නා ජීව විද්‍යාවත්, ජාණත්, ඩොලී ගැනත් පොල්බූරු කතා කියා හත්පොලේ ගාගනිති.

නමුත් සැබෑ ප්‍රශ්නය නම් මේ පොල් බූරුවන්ට ඇහුම්කන්දෙන, උන් ඔසවා තබන, උන් කියන කියන පොල් බූරු කතන්දර (ප්‍රවාද) හෙවිල්ලක් බැල්ලිලක් නැතිව පිළිගන්නා එවුන් හැඳින්වීමට යොදාගත හැකි වචනයක් නැති කමයි. පොල් බූරුවන් මෙතරම් සිටින රටක මේ සඳහා ගැලපෙන වචනයක් නොමැතිකම මහත් ලැජ්ජාවකි. අනිත් අතට නලින් ද සිල්වා වැනි විද්වතුන් සිටින රටක ඒ සඳහා වචනයක් නිපදවා ගැනීම මහ කජ්ජක් නොවේ. මේ සඳහා ඔබටත් දායක විය හැකියි. ඔබේ නිර්මාණාත්මක වචනය, යෙදුම මෙහි කමෙන්ට තීරුවේ සටහන් කරන්නේ නම් ජාතික අඩුවක් පුරවන්නට දායක වූවා යයි අනාගතයේ යම් දිනෙක ඔබටත් සතුටු විය හැකියි.