Saturday 29 January 2011

තොපි මාවත් අන්දන්නද?





ඒ ජෙප්පන් අවි ගෙන සිටි භීෂන සමයයි. ජෙප්පන්ට එරෙහිව රජයේ නිල-නොනිල හමුදා අඳුරු සෙවනැලි අස්සේ දඩයම් කල අවදියයි. පේරාදෙණිය සරසවිය ජෙප්පන්ගේ බලකොටුවක්ව තිබූ කාලයයි.චම්පක ජෙප්පන් සමඟ මතවාදීමය කරුනු උඩ ගැටී විරසකවූ කාලයයි. දේශප්‍රේමයේ නාමයෙන් මව්බිම සුරකින වීරයා මම්ම නොවේදැයි සිතමින් පසුවූ කාලයයි. අක්බාර් එකේ ප්ලේන්ටි බොමින් රතන හා එක්ව ජෙප්පන්ට එරෙහිව මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ක්‍රියාවට නැංවීම සඳහා පිඹුරුපත් සකසන අවදියයි.

ජෙප්පන්ට එරෙහිව පලමු පෝස්ටර් වෙඩිමුරය පත්තු කරන්නට අවශ්‍ය පිරිස් බලය මඳ කමින් නියව නියවා සිටින චම්පකයාට වැඩිකල් වේලි වේලි ඉන්නට සිදුවුනේ නැත. "තෙල බෙදීමේ"ද, වාග් චාතුර්‍යෙහිද දස්කම් විස්කම් නිසාම පලමු වසර කොලු ගැටයෙක් අක්බාර් එකෙන්ම "බා" ගන්නට හැකි විය.

අක්බාර් එකේ ඇල් ප්ලේන්ටිය බොමින් චම්පකයා අලුත් කොලුගැටයා හා රහස් සංවාදයකට මුල පිරුවේය.

"මල්ලි අපි අලුත් සංවිධානයක් හදන්නයි යන්නේ ජෙප්පොන්ට විරුද්ධව. මල්ලි මේකෙ උප සභාපති කරන්න තමයි කට්ටිය හිතං ඉන්නේ." කොලු ගැටයා මුරුංගා ගසේ කරටියට යාන්තම් පහලින් ස්තාන ගත කරන්නට චම්පක වග බලාගනී.
කොලුගැටයා විශ්මයෙන් අසා සිටී. මොහොතකට කලින් ඉන්දියානු භූ-දේශපාලනික උපක්‍රම සහ චීනය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන පුළුල් දේශනයක් දී තම ගෞරවය දිනාගත් චම්පක "අයියා" කියන්නේ මට වඩා සුදුසු එකෙක් මේ මුලු මහත් කැම්පස් තලයේම නැති බවද?

"කවුද කට්ටිය කිව්වේ?"

"කට්ටිය කිව්වේ අනිත් පැකල්ටිවල ඉන්න අපිට සපෝට් අය, කොච්චර නං ඉන්නවද ඒවල.!"

"අරූ, රතනය ඇරෙන්න එකෙක්වත් මට තාම හම්බෙලා නැහැනේ" කොලුගැටයා තම අවංක අදහස තෙපලයි.

"ඒකම තමයි මල්ලි අපි මේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ගැන කට්ටිය දැනුවත් කරන්න ඕනේ, තාම කට්ටිය මම මේකෙ සභාපති කියලවත් දන්නේ නෑනේ.. මේ පෝස්ටර් පාර හරියට ගියොත් ..හහ් ඔන්න බලන්ඩකෝ."

" එහෙනං වැඩේ කරමු අයියේ. මම රෙඩි. රතනය පාප්ප වැඩේ කරල දෙන්නං කිව්ව කියන පරක්කුවෙන්."

"රයිට්, රයිට් එහෙනං අඟහරුවාදට එලිවෙන්න, මම එනව පෝස්ටර් ටික ඇඳන් ගලහ හන්දියට."

-------------------------------------------------

"කෝ මල්ලි එකට නේ එනව කිව්වේ? මම මෙතන මර රෑ වාත වෙනවනේ?"

කොලුගැටයා පාප්ප බාල්දිය බිමින් තබා හති අරියි.." හාපෝ.... මේ රතනය දීපු පාප්පේ මහ ගඳයි, ගිය සතියේ හැදුව එකක් ලු" කොලුගැටයා නැවත් හති අරී.
"ඉතින් මේ බකට් එකට දාගන්න කවුරුත් සප් එකක් දුන්නේ නෑ. ඔක්කොම නහයවල් වහං දුවනව. පාප්ප ගාන්න බුරුසුවක් හෙව්ව හෙව්ව හම්බුනේ නැහැ, අන්තිමට රතනය පන්සලේ කොස්ස දෙකට කඩල දුන්න..බලාගෙන ගියාම ඒකත් නියමයි වැඩේට."

"හරි, හරි. මල්ලි ගාන්න මම අලවන්නං" චම්පක වට පිට බලමින් කියයි. "ඉක්මනට වැඩේ ඉවරයක් කරමු, කියන්න බෑනේ , උඩුගම්පොලයගේ එවුන් ගජරාමෙට කොල්ලො උස්සනවලු"

"අයියේ අර කොලඹ මෙඩ්ඩ, වෙනුර, ඌවත් උස්සලලු"

චම්පකයාගේ හිත ගැස්සී යයි.

" අර වයිශිකේ හිටපු මෑන්ස් නේද?"

"වයිශිකේ කිව්වේ??" කොලුගැටයාගෙන් නැවතත් ප්‍රශ්නයක්.

"වෛද්‍ය ශිෂ්‍ය කමිටුව,..මල්ලි ඔය කොන් හොඳට ඇලවෙන්න උඩිනුත් පාප්ප පාරක් දෙන්න"

ඈතින් වාහනයක් එන හඬක් ඇසේ. ජීප් එකක් බව ඉවෙන් මෙන් කොලු ගැටයා හඳුනා ගනී.

"අයියේ ජීප් එකක් වගේ ..මොකද කරන්නේ.."

"මල්ලි හැංගෙන්න ඕන්නෑ, ඔහොම්ම ඉමු, මේ පෝස්ටර් ජෙපි-විරෝදී නේ,බය වෙන්ඩ දෙයක් නෑ"

ජීප් රතය මහ හඬින් තිරිංග තද කරමින් නවතියි. ඉන් එලියට බහින්නේ තරු දෙකේ පොලිස් නිලධාරියෙකි. තුවක්කු අතින් ගත් සිවිල් ඇඳුමෙන් සැරසුනු පිරිසක් චම්පකයාත් කොලු ගැටයාත් වටකර ගනිති.

පොලිස් නිලධාරියා තම අතවු මිලි මීටර් නවයේ පිස්තෝලය ලෙලවමින් පැමින " ආ කෝ බලන්න මොනවද මේ පෝස්ටර්.. හ්ම්ම්ම්.. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය.. ඒ මොකද්ද ඒ?. යකෝ තොපේ කටේ පිට්ටුද? මොකද්ද මේ සංවිදානේ? කවුද මේකෙ නායකයෝ?

කොලු ගැටයා පොලිස් නිලධාරියාගේ ගෝරනාඩුවෙන් තැති ගනී. බයටම චම්පකයාට ලංවෙද්දී පාප්ප බාල්දිය තුලට කකුල දමන්නේ නොදැනුවත්වමය.

"ෂික් විතරක් මුංගේ පාප්ප නිකං බලු ගූ වගේ" අවි ගත් එකෙක් පිලිකුලෙන් චම්පකයාට ඔරවයි.

"කවුද මේකෙ නායකයා" පොලිස් නිලධාරියා පිස්තෝලය කොලුගැටයාගේ හිසට තබා ගොරවයි.

"මෙයා සබාපති, මං උපසබාපති"

"මෙයා චබාපති, මං හුකචබාපති, ඈ ?" කට ඇදකර කොලුවා කියූවම පුනරුච්චාරනය කල නිලධාරියා " එතකොට තොපේ ලේකම් පංසලේ හාමුදුරුවොද?" යි අසන්නේ නැගී එන කේන්තිය මැදය.

චම්පකයාගෙ වැලමිටි පහර නිසා කොලුවා "ඔව්" කියන්නට ගිය වචන ගිල ගනියි.

"නෑ ඇත්තටම මෙයා සබාපති, මං උපසබාපති" කොලුවා බැගැපත්ව කියද්දී චම්පකයා හිස් අහස දෙස බලා සිටී.

"අනේ බොල හු** ගේ පුතාල තොපි මාවත් අන්දන්නද? මොන සංවිදානෙද යකෝ සබාපතියි උප සබාපතියි පෝස්ටර් ගැහැව්වේ???" නිලධාරියා පිස්තෝල මිටෙන් චම්පකයාගේ බඩට අනී. අවි ගත් එව්වෝද නිලදාරියා අනුව යමින් තුවක්කු මිටි වලින් චම්පකයාටත් කොලුගැටයාටත් හොඳ හැටි සංග්‍රහ කරති.

"දාපල්ල ඕකුන් දෙන්නව ජීප් එකට." නිලධාරියා කේන්තියෙන් අණදෙයි.

නහයෙන් කටින් ලේ පෙරාගෙන වැටී සිටින චම්පකයාත් කොලුගැටයාත් ජීප් රිය තුලට විසිවෙයි.

සිද්ධිය සැලවී විශ්ව විද්‍යාල ආචර්යවරයෙකු සමඟ චම්පකයා බේරගන්නට පොලීසි එන රතනයා දකින්නේ හොඳටම පහර කා සිහිසුන්ව පොලිස් කූඩුවේ වැටී සිටින සගයින් දෙදෙනාය.

"සංවිධානයේ නායකයින් කවුද" යන ප්‍රශ්නය නැවත නැවතත් රැ තිස්සේ ඇසී ඇති බවත්, ඊට පිලිතුරු ලෙස කොලු ගැටයා එකම උත්තරය දී ඇති බවත් රතනයා ඇතුලු සරසවි ප්‍රජාව දැනගන්නේ ඊට සතියකට පසු රෝහලේදී චම්පකයාට සිහි එලැඹි විටදීය.


මෙහි එන සියලු චරිත සහ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය. යාන්තමින් හෝ සැබෑ ලෝකයේ අතීත සිදුවීමක් නිරුපණය කැරෙන බව හැඟේ නම් එය කතෘ ගේ දක්ෂතාවය බව පමණක්ම නිසා වූවක් ලෙස සැලකිය යුතු.

5 comments:

  1. නියමයි මකබාසෝ.

    ReplyDelete
  2. ආහ් මේ පේරාදෙනියේ චම්පක කෙනෙක් නේ. අපි දන්න කෙනා නෙමේ.

    ReplyDelete
  3. @ Sinuwara Hasuna

    සෑර්, මේකයි කතාව. මේ චම්පක කටුබැද්ද පැත්තේ විස්ස විජ්ජාලෙක ඉගෙන ගන්නකොට ජෙප්පෝ කැම්පස් වහං යකා නැටුවා නෙව. ඉතිං මෙයාගෙ ඔලුවටත් දේශප්‍රේමේ ගහලා, කොලඹ බ්ලොම් එකෙයි, රුහුනෙයි, පේරාදෙණියෙයි රට වටේම ගියාලු. ඔහොම ගිහින් ඉන්නකොට කාපු පරිප්පුවක් ලු.

    ReplyDelete
  4. අපොයි ඔය යකා අහලින් ගියත් තාම ඔය ගඳ එනවා...

    ReplyDelete