Saturday, 4 January 2014

රෙනාටා සළාත්සි- නිස්කලංක ජීවිතයකට මග | Tyranny of Choice



පාඨකයන්ට මුල්තැන දීමට අපි කවදත් කමැත්තෙමු. අනෙක් අතට පාඨකයෙක් අපේක්ෂා භංගත්වයට පත් කිරීමෙන් අපි සතුටක් නොලබන්නෙමු. සූස්ති ගුණේ පාඨකයෙක් අපිට ඔත්තුවක් දී ඇතුවාක් පමණක් නොව එමගින් පොරවෙන්නටත් හැකි බව කියා අපේ අවධානය දිනාගත්තේය. පොරවෙන්නට හැකි නම් මේ සිරි ලංකාවේ යමක් නොකරන ගොනෙක් වෙත්ද? අපි ඒ අවවාදයත් අනුශාසනාවත් පැනලා පිළිගත්තෙමු. පහත පළවන්නේ රෙනාටා සළාත්සි  (Renata Salecl) නැමැති ස්ලෝවෙනියානු දාර්ශනිකයා Der Spiegel සඟරාව සමඟ කල සංවාදයකි.

Spiegel- සබ්වේ වගේ අවන්හලකට ආවහම අපිට සැන්විච් එක රසවිඳින්න කලින් තීරණ දුසිම් භාගයක ගන්න වෙනෙවා, මේකද ඔබ "අභිමතයේ සාහසිකත්වය" යනුවෙන් හඳුන්වන්නේ?

Salecl: මම පුළුවං තරම් සබ්වේ වගේ එවා මගහරිනවා. ආවත් ඕඩර් කරන්නේ එකම එකම සැන්විච් ජාතිය තමයි හැමවිටම. මම අභිමතයේ සාහසිකත්වය කියලා අදහස් කරන්නේ පශ්චාත්-කාර්මික ධනවාදය තුළ පැන නැගෙන න්‍යාය.ඒක පටන් ගත්තෙ ඇමරිකානු සිහිනය එක්ක-- අර ස්වෝත්සාහයෙන් දියුණු වෙලා දුගී-දුප්පත් කමේ ඉඳලා ධනවතෙක්ගේ තත්වයට ඉහළට නැගීම. ටිකෙන් ටික මේ සංකල්පය විශ්වීය දර්ශනයක් විදියට වර්ධනය වුණා. අද අපි හිතනවා අපිට හැමදේම තෝරාගැනීමට හැකිවිය යුතුයි කියා, අපි ජීවත් වෙන විධිය, අපේ පෙනුම, කොටින්ම අපි කෝපි මිලදී ගන්නකොට පවා අපිට හැමවිටම අපේ තීරණය මැන බලන්න වෙනවා. මේක හරිම අහිතකර තත්වයක්.

Spiegel- ඇයි ඒක අහිතකර තත්වයක් වෙන්නේ?

Salecl: අපි නිතරම ආතතියෙන් ඉන්නෙ. වරදකාරී හැඟීමෙන් දරාගත නොහැකි කමින් සිත පිරිලා. මොකද මේ න්‍යායට අනුව අපි අසතුටින් ඉන්නෙ අපේ වැරැද්දක් නිසා. අපි වැරදි තීරණයක්, තෝරාගැනීමක් කරල තියෙන්නෙ.

Spiegel- ඉතිං අපි හරි තෝරගැනීමක් කළොත්?

Salecl: එතකොටත් අපිට හිතෙනවා තවත් ටිකක් හොඳ එකක් තිබුණා වෙන්න පුළුවන් අපි නොදන්නවා වුණාට එහා කඩේ කියලා, මේ නිසා අපි අපේ තෝරාගැනීමෙන් කිසි විටෙක සැහීමකට පත්වෙන්නේ නැහැ, අපිට කිසිම තෝරාගැනීමක් ගැන සම්පූර්ණ එකඟතාවයකට එන්න බැහැ.


Spiegel- "සාමාන්‍ය මිනිහට තීන්දු ගන්න දෙන්න එපා, එයාට එච්චර බුද්ධියක් නැහැ" මේ තර්කය ශතවර්ෂ ගාණක් පරණයි නේ. ඔබ කියන්නෙ මේ තර්කය හරියි කියලද?

Salecl: මගේ විවේචනය දේශපාලනික නිදහස සම්බන්ධයෙන් නෙවෙයි. නමුත් ධනවාදය විසින් මේ මතවාදය විපරීත කීරීම සම්බන්ධයෙන් තමයි මගේ විවේචනය. මගේ ජීවිතය පිළිබඳ පූර්ණ අධිකාරිය, පාලනය, බලය මා සතුය යන මායාව ගැනයි මගේ විවේචනය.

Spiegel- ඒත් ඒ බලය තියෙනවා නේද? මාව කොතරම් ආතතියට පත් කරත් මට ඕනෑ දේ ගැන මට තීරණය කල හැකියි නේද?

Salecl: කිසිසේත්ම නැහැ. මම දන්නා ගැහැනියකට හොඳ රැකියාවක්, ආදරණීය සැමියක් සහ හොඳ නිවසක් තිබුණත් ඇය නිතරම සිටියේ අසතුටින්. "මම මගේ ජීවිතේ හැමදේම හරියටම කළත් කිසිම සතුටක් නැහැ" ඇය නිතර කිව්වා. ඇය කවදාවත් තමන්ට ඕනෑ දේ නෙවෙයි කළේ, සමාජය විසින් තමන් කරාවි යැයි බලාපොරොත්තු වූ දේයි ඇය කළේ.

Spiegel- ඒ කියන්නේ අපි අපේ පුද්ගලික සතුට වර්ධනය කර ගැනීම දියුණුකර ගත යුතු බවද?

Salecl: ඒකත් මායාවක් නේ. අද සතුට කියන්නෙ අපි නිතර මැන බලන කඩුල්ලක් වෙලා. ගෑනුන්ගේ සඟරා අද පොරකනවා අපිට කියන්න මොනවද අපිව සතුටෙන් තියන්නේ කියලා. අද නිතරම ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් වලින් අනිත් අය අපට වඩා කොච්චර සතුටෙන් ඉන්නවාද කියල පෙන්නනවා. වැඩියෙන්ම සතුටින් ඉන්න ජාතීන් ගැන මැන බලන්න දර්ශකයක් පවා තියෙනවා. "සතුටින් සිටින්න" යන්න අද සමාජ අත්‍යාවශ්‍යයක් වෙලා. ඔබ සතුටින් නෙවෙයි නම් ඔබ පරාජිතයෙක්

Spiegel- නමුත් මේ උදාන වාක්‍යයෙන් හැමෝටම කියනව නේ තමන්ට තමන්ගේම තෝරා ගැනීම් කල හැකි බව. ඒකෙන් මිනිස්සුන්ට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් වැඩි බලයක් පාලනයක් ලැබෙනව නේද?

Salecl: ඔව්, හැබැයි ඕකෙන් කෑල්ලක් විතරයි ඇත්ත. අපි කොච්චර තෝරාගැනීම් කළත් ඒවායේ ප්‍රතිඵල අපට පාලනය කරන්න බැහැ. ඒක තමයි ඊළඟ පියවර. අපිට තෝරා ගැනීමේ නිදහස පමණක් නොව ඒ තෝරාගැනීමේදී අපි බලාපොරොත්තු වූ ආකාරයේම ප්‍රතිඵලයක් ලැබෙන බවට සහතිකයක්ද අවශ්‍යයි.

Spiegel- ඇයි අපි ඔච්චර බය ඔහේ රැල්ලත් එක්ක යන්න, අනිත් අය කරන දේම කරන්න.

Salecl: ඒ හැම විටම අපි යම් තෝරාගැනීමක් කරනකොට අපිට වෙනත් යමක් අහිමි වෙන නිසා. කාර් එකක් ගන්න එක හොඳ උදාහරණයක්. හුඟක් මිනිස්සු කාර් එක ගන්න ඉස්සෙල්ල විතරක් නෙවෙයි ගත්තට පස්සෙත් ඒ කාරෙක ගැන විචාර කියවනවා- තමන්ගේ තේරීම හරිම එක බව සැක හැර දැනගන්න.

Spiegel- මට වත්කමක් නැති නිසා, මට තෝරාගැනීමක් නැතිනම්, ඒ නිසා මම සතුටින් සිටීද?

Salecl: නැහැ. ධනවාදයේ ඉහළම ජය නම් කම්කරු වහලාට පවා තමන්ද ස්වාමියෙක් ලෙස හැඟීමයි, සිතීමයි. ඔහු විශ්වාස කරනවා ඔහුට ඔහුගේ ජීවිතය වෙනස් කල හැකිය කියා. අපව ඉදිරියට තල්ලු කරන ගාමක බලය නම් ස්වෝත්සාහයෙන් දියුණුවිය හැකිය යන න්‍යායයි - අපි වැඩි වැඩියෙන් වැඩ කරනව, වැඩියෙන් පරිභෝජනය කරනවා, අවසානයේදී අපි අපිවම පරිභෝජනය කරනවා. ප්‍රතිඵලය නම් කායික සහ මානසිකව ඇතිවන දැඩි විඩාව, බුලිමියාව සහ අනෙකුත් ජීවන රටාව ආශ්‍රිත රෝග.

Spiegel- ඇයි අපි මේ තරම් නරක විදියට අපිට සලකගන්නේ?

Salecl: ෆ්‍රොයිඩ් සොයාගත්තා දුක් විඳීම අපිට ප්‍රමෝදය ගෙන එන බව-- ඉතාම විකාර ස්වපීඩාකාරී ආකාරයකට. අභිමතයේ සාහසිකත්වය සූරාකන්නේ මේ දුර්වලතාවයයි. මේ පරිභෝජන සංස්කෘතිය අපිව දැඩි වෙහෙසකට පත් කරනවා. අපි දුක් විඳිනවා, අපිව විනාශය කරා ගෙන යනවා. ඒත් අපිට එය නැවැත්විය නොහැකියි.

Spiegel- ඒත් අපි මේකේ ගොදුරක් නෙවෙයි. අපිම තමයි මේ ක්‍රමය හැදුවේ, අපි පරිභෝජනය කරන තාක් කල් මේක පවතීවී.

Salecl: ඒක ඇත්ත. ෆ්‍රොයිඩ් කියල තියෙනවා අපි අපේ නියුරෝසියාව තෝරාගන්නවා කියා. ධනවාදය මනුෂ්‍යත්වයේ නියුරෝසියාවයි.

Spiegel- මීට වෙනස් ක්‍රම තියෙනවානේ. ලංඩනයේ අවන්හලක් තියෙනව එකම කෑමක් පමණක් පිළිගන්වන, ඒකට මිනිස්සු පෝලිමෙ ඉන්නවා. බර්ලිනයේ කොම්පැනියක් ටී ෂර්ට් විකුණනවා පාරිභෝගිකයන්ට ඒවා පෙන්වන්නේ නැතුව.

Salecl: ඕක හොඳ මාකටින් උපක්‍රමයක්.  කුඩා ළමයි සමගත් ඕක දකින්න පුළුවන්. ඔබ චිත්‍රපට ශාලාවකදී ඔවුන්ට නරඹන්න අවශ්‍ය මොකක්ද ඇසුවොත් එය ඔවුන්ට දරාගත නොහැකි ප්‍රශ්නයක්. අනෙක් අතට මොහොතකට පෙර ඔබ යෝජනා කළොත් " අපි බලමු ජේම්ස් බොන්ඩ්" කියා බොහෝ විට දරුවන්ගේ ප්‍රතිචාරය වනු ඇත්තේ " ඕන එකක්, හැබැයි ඒක නැතුව".  සීමා මායිම් නැත්නම් අපි අපේ ඒවා හදාගන්නවා.

Spiegel- ඇත්තටම අපිට ඇත්ත නිදහසක් තියෙයිද?

Salecl: නැහැ. ඒත් අපිට වඩා නිස්කලංක ජීවිතයක් ලඟාකරගත හැකියි. අපිට පිළිගන්න පුළුවන් නම් අපේ තෝරාගැනීම්, තීන්දු, තීරණ සහේතුක, තාර්කික ඒවා නොවන බව, අපි හැම විටම සමාජයේ නිමවුමක් බව, අපි තෝරාගැනීමක් කරන හැම අවස්ථාවකම අපිට වෙනත් යමක් අහිමි වන බව සහ අපි ගන්නා තීරණ වල ප්‍රතිඵල අපේ පාලනයේ නොපවතින බව.


Interview conducted by Stefan Shultz

9 comments:

  1. දැං ඉතිං අපි කියන්ෙන "සූස්ති සාදු" කියල! ඔන්න එපා කියන්න ඔට්ටු නෑ....

    ReplyDelete
    Replies
    1. අහවල් ජිල්මාට් එකක් හින්දා එහෙම කිව්වද සෑර්

      Delete
  2. දැන් ඔය මෙයත් වටේ ගහල යන්නෙ ඉන්දියන් බුවාල කියාපු තැනටමනෙ!

    ReplyDelete
    Replies
    1. කවුද සෑර් ඉන්දියං බුවාලා කිව්වේ??

      Delete
  3. ගුනේ......අවසාන ප්‍රශ්නයට සලාසි දෙන උත්තරය ගොඩාක් දුරට නිවැරදි බව මට හිතෙනවා. අපි හැමවිටම සාමාජයේ නිමවුමක් තමයි. ඒ හා බද්ධවූ චලනයන් සහ තීරනයන් මෙන්ම සීමාවන් තුල තමයි සියල්ල සිද්ධවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සෑර්ට ඔහොම හිතුනට සමහරු හිතන්නෙ "ඒකීය පුද්ගලයා ගේ නිදහස, අභිමතය" තමයි සමාජය ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒක නෙව සෑර් ගැටුම.

      Delete
  4. අනේ මන්ද බං ... මට නං එකඟ වෙන්න බැහැ ..
    තෝරා ගැනීම් අවම වෙන සමාජයක් (සෝවියට් සමුහාණ්ඩුව කඩා වැටීමට පෙර වගේ ) සාමාන්‍යයෙන් කෘත්‍රිමව පාලනය වෙන සමාජයක්. ඒ වගේ සමාජයක මිනිහෙක් ගේ ජිවිතයේ හැම දෙයකම වගේ (කන්නේ බොන්නේ මොනවාද , අඳින්නේ , රස්සාව කරන්නේ , ජිවත් වෙන්නේ etc ) තීරණය ගන්නේ මධ්‍යම පාලන මණ්ඩලයකින්. එහෙම නැතුව ඒ වගේ රටවල් පවත්වාගෙන යන්න අමාරුයි.
    මෙහෙම කරන තැනක මිනිස්සු සතුටින් ඉන්නවා කියල නං විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේ සමාජ ක්‍රම පේල් වෙන්නත් මුලික හේතුව එකයි.
    සබ් වේ ගැන කියනවා නං :
    දැන් බලහං ..විවිධ අයට විවිධ අසාත්මිකතා තියෙනවා. (රටකජු , ලැක්ටෝස් , මයෝනිස් , අන්නාසි etc ) ඉතිං ඒ වගේ විවිධ අවශ්‍යතා තියෙන මිනිස්සු ඉන්න නිදහස් , නිවහල් සමාජයකට තෝරා ගැනීම් වලට ඉඩ දීම අත්‍යාවශ්‍ය මනුස්ස අයිතියක් ලබාදීමක්. තෝරා ගැනීම් වැඩි වීම මගින් ජිවිතයේ ගුණාත්මක භාවය වැඩි වීමක් මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. හිතේ සතුට නැති වීම නං ඉතින් තමන් විහිං කරගන්න දෙයක්. තෝරාගන්න අකමැති නං , එයින් මානසික ආතතියක් එනවා නං fixed menu එකකට යන එක නේ තියෙන්නේ :)

    ReplyDelete
  5. පරිවර්තනය කජු කනවා වගේ වැඩක්ද? කියවන්න මාතොට 2003 සැප්තැම්බර්

    ReplyDelete
  6. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete