Monday 26 July 2010

දියතලාවෙන් ගඳම ගඳ බොග කතාවක්



මේ කතාවට හේතු පාදක වන්නේ අපේ මිතුරන් පිරිසක් නුවර එලිය, බණ්ඩාරවෙල, දියතලාව ආශ්‍රිත සීතල කඳුකරය පීරමින් අරක්කු බෝතල් හිස් කරමින් ගිය විනෝද ගමනකි. පිරිසෙන් එකෙකුට බීපු අරක්කු වර්ගය හෝ බයිට් වර්ගය දිරවා ගන්නට බැරිවිය. දින ගානක් එක දිගට බීම නිසා හෝ එසේත් නැතිනම් නැවතී සිටි සංචාරක නිවසේ කෝකියාගේ ඉවුම් පිහුම් නිසා හෝ හැදුනේ අසාධ්‍ය බඩේ අමාරුවකි. දියතලාවෙන් නික්ම එද්දි මතු නොවු රෝග ලක්ෂණ වෑන් රතය තුලදී පෙන්වන්නට විය. "මචං මට යන්නම ඕන මචන්" අපේ එකා මූන ඇඹුල් කරමින් පින්සෙන්ඩු වන්නට විය. "පාරෙ තියෙන ගෙදරකටවත් යන් මචන්" මේකා බැගෑපත්වෙයි. "වායු පාලනය" මෙන්ම "හඬ පාලනය"ද මේ වන විට අප මිතුරාගෙන් ගිලිහෙමින් තිබින. කර කියාගත දෙයක් නොමැතිව අසරනව රිය එලවන මිතුරා අහම්බෙන් මෙන් පොදු වැසිකිලියක් යයි හැඟෙන තැනක් දැක වහා වාහනය හිටිවනම නැවතුවේය. බැලූ බැල්මට පැරණි ගොඩනැගිල්ලක් වුවද අහල පහලින් ගලන වතුර පාරවල් සහ නහයට දැනෙන වැසිකිලි ගඳ බඩේ අමාරුවෙන් නලියන මිතුරාගේ දෙනෙතට රසඳුනක් විය.

ගොඩනැගිල්ලේ වැසිකිලි කාමර තුනකි. දෙවරක් නොසිතා පලමු කාමරයට රිංගූ මිතුරා දොර වසන්නට අගුල සෙව්වේය. අගුලක් නැත. අපේ එකා මැද කාමරයට පැන්නේය. එහිද අගුලක් නැති නමුත් හැට්ට කට්ටක් අමුනා තාවකාලික අගුලක් නිමවා තිබින. වහ වහා ඇඳුම් උනා දොරේම එල්ලු මිතුරාට වෙලාව ඉතිරිව තිබුනේ යාන්තම් ඇනතියා ගන්නට පමනි.

උදරය ඇතුලේ හිරවී සිටි නාලාගිරියෙකුගේ අවසාන කුංචනාදය වැනි ශබ්දයක් නැගුනේය. එක මොහොතකට ලෝකයම නිසල වූ බවක් දැනින.

මොහොතකින් සියලු දුක් අවසන්ය. ක්‍රමක්‍රමයෙන් වටපිටාව පිලිබඳ සංවේදන ප්‍රකෘති තත්වයට පත්විය. එහෙන් මෙහෙන් සීතල දැනෙන්නට විය. හීන් හුලිජ්ජ ගඳක්ද නැහැපුඩු අගුලු වට්ටවන ගූ ගඳක්ද දැනේ. ස්කොටින් පෑන් එක නෙත ගැටුනු අප මිතුරා වික්ෂිප්ත විය. එය හරියටම පරමානු බෝම්බය දැමු හිරෝශිමාව මෙනි. විනාශය එතැනින් නොනැවතී තම සෙරෙප්පු සහ ඇඟිලි තුඩු , යටි පතුල් දක්වා ගමන් කර තිබේ.

"වතුර ..වතුර. හෝදගන්න ඕනේ ඔක්කොම." මිතුරා අසලින්ම ඇති කරාමය කරකැව්වේය. එය ගැලවී අතට ආවේය. වතුර නැත! කෙමෙන් කෙමෙන් මධ්‍යම කඳුකරයේ සීතල තදින් දැනෙන්නට විය. වතුරත් නැති එකේ විකල්පයක් ලෙස ඇත්තේ බැනියම සහ යට ඇඳුමින් පිසදා ගැනීමයි. ඒ ගැන සිතන වාරයක් වාරයක් පාසා මහා පිලිකුලක් සිතට නැගෙන්නට විය.


හදිසියේම තෙවෙනි කාමරයෙන් උගුර පාදන හඩක්ද , ඒ සමගම කිසිදු හඬ පාලනයකින් තොරව ශරීර කෘත්‍ය කරන හඩක්ද අපේ මිතුරාට ඇසින. මොහොතකට බලපොරොත්තු දැල්වුනි.

"වතුරෝ!!!" එහා කාමරයෙන් මහ හඬක් නැගින. ක්ෂනයකින් යමෙක් ගොඩනැගිල්ලට ඇතුලුවනු ඇසේ. "දහයායි" පිලිතුරු හඬ සමග බෙලෙක්කයක හඬක්ද ඇසේ.

අපේ එකාද යටි ගිරියෙන් කෑ ගැසුවේය. "වතුර!!"

"දහයායි" දොර යටින් වතුර පිරවූ කුඩා සැමන් ටින් එකක් ආවේය. කරන්නට දෙයක් නැත. ටින් එකේ ප්‍රමානය සහ රුපියල් දහය ගැන වාද කරන්නට ගොස් මලපහ සමග සීතලේ මැරුනු මිනිසෙක් ලෙස ඉතිහාස ගතවන්නට උවමනාවක් අපේ එකාට තිබුනේ නැත. පලමු වතුර එක ගැටුනු තම අවයව ඇකිලී සිරුර ඇතුලට යන තරම් සීතලක් දැනුනේය. පශ්චාත් බාගය හිරිවැටී ගොසිනි. පශ්චාත් බාගය සේදු වම් අතේ දබර ඇඟිල්ලත් මැදැගිල්ලත් අතර යම් උනුසුම් ජල්ලියක් ඇලී සෙමෙන් පහලට රූටනු දැනේ. සැමන් ටින් එකේ වතුර ඉවරය.

"වතුර!!!" අපේ එකා නැවතත් කෑ ගැසුවේය.

"දහයායි" ක්ෂනික ව වතුර පිරවූ සැමන් ටින් එක දොර යටින් එයි. වතුර එක වැටෙන වැටෙන වාරයක් පාසා එලොව පොල් පෙනෙයි. දතක් ගලවන්නට පෙර දෙන වේදනා නාශක එන්නත පුකට ගැසුවාක් මෙන් මොහොතකට සංවේදන නැතිවී යයි.

" මල්ලි මේ වතුර ගේන්නේ අයිස්ලන්තෙන්ද??"

සැමන් ටින් 15ක් හුවමාරුවූ පසු අප මිතුරා වෙව්ලමින් ඇසුවේලු.

සෙරෙප්පු සහ කකුල්ද සොදා ගෙන සම්පූර්නයෙන් පිරිසිදුවී මිතුරා අප වෙත ගැහි ගැහි එන විට සැමන් ටින් 23ක් ඒ දොර යටින් හුවමාරුවී තිබින.

10 comments:

  1. අම්මෝ.. හිනාවෙලා බඩත් කොරවුනා.. හික් හික්..

    ReplyDelete
  2. යකෝ උන් වතුර ගෙනත් තියෙන්නේ කොහෙන්ද බන් ? යාපනේ වත් ඔච්චර ගනන් නැතුව ඇති... හික් හික් පට්ට කතාව

    ReplyDelete
  3. විස්තර කරල තියෙන විදියටනම් උඹටම තමයි වැඩේ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  4. පට්ට කතාව. අර දෙනෙතට රසඳුනක් කෑල්ල නම් මරේ මරු. (ඕක නාහෙට.... මොකක් හරි කියලා දැම්මනං තවත් මරු)
    අදයි ආවෙ. දිගටම එනවා.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. සිරා කතාව අයියා :)

    ReplyDelete
  7. niyamai banz . . pixu kora . ..

    ReplyDelete
  8. සූස්තියක් එහෙම ගහලා මේක කියෙව්වනම් හිනා වෙලාම මොනව හරි වෙනවා...

    ReplyDelete