Sunday 8 July 2012

පොසිටිව් තින්කින් සහ බුද්ධාගම


පොසිටිව් තින්කින් හෙවත් ධනාත්මක චින්තනය අද ඊයේ නොව කලක් තිස්සේ ලෝකය පුරා විසිරී සිටින බයිලා චක්‍රවර්තිලාගේ අතමිට සරුකළ කල්ල-මරේ ව්‍යාපාරයකි. බොහෝ දෙනා මැජික් වලට , සුරංගනා කතා වලට කැමතිය. තමන්ගේ ජීවිත වල හිටි අඩියේ මහා වෙනස්කම් කරන්නට මෝහනයෙන්, ඇෆමේන් වලින්, ෆෙන්ග්ශුයි වලින් පුළුවන් නම් අපිත් කැමතිය. මාධ්‍ය වලින් පුම්බා පෙන්වන ෆැන්ටසි ලෝකයත් සමඟ ජීවිතය යනු සුරංගනා කතාවක් නොවන බව අවබෝධ කරගැනීම දුෂ්කරය. වසරකට කෝටි ගණනක් උපයන මේ ව්‍යාපාරය අද වන විට නොයෙක් සමාජ-සංස්කෘතික අංශ තුළට රිංගා ඒවා තුළ තම චූල අවකාශයන් ගොඩනගාගෙන තිබේ. එවා අතු ඉති දමමින් තව තවත් පරිණාමය වෙමින් නව බයිලා චක්‍රවර්තිලා පිරිසකට හොද්ද බොරකර දෙයි.  

කාලයක සිට බුද්ධාගමත් පොසිටිව් තින්කින් වල ඉලක්කයක් වී තිබේ. බ්ලොග් අවකාශයේ ඉන්නා කීපදෙනෙක්ද ඇතුළුව ලාංකීය සමාජයේ ඉන්නා  සට්ට-වෙට්ට පිත්තලයන්ද බුද්ධාගම සහ පොසිටිව් තින්කින් අතර ඇත්තේ කවරදාවත් නොවූ එකඟතාවයකැයි කියති. බුදුන්ගේ වැකි, සෙන් වැකි, උඩ දමා පෙන්වති. මජ්ජිම නිකායෙන්, අංගුත්තර නිකායෙන් පාලි වැකි මුහුණටම දමා ගසමින් පිංගුත්තරයන්ට අන්දවන්නට බලති.

 මේ කතා අහන අපට අප බුද්ධාගම යනුවෙන් ඉගෙන ගත්තේ වෙන මල ඉලව්වක් දැයි සැක සාංකා පහළ වෙන තරමටම අරුම පුදුම විශ්වාසයකින් යුතුව මේ ගජබින්න සමාජයට මුදා හැරේ. අපි දන්න බුද්ධාගම බුදුහාමුදුරුවන් දේශනා කළේ සංසාරයෙන් එතෙර වීමටය. සංසාරය බිය විය යුතු මහා දුකක් නිසාය. මෝහනයෙන් , ඇෆමේන් වලින් හිතූ හිතූ දේ ලබාගන්නට පුළුවන් නම් බුදු හාමුදුරුවන්ට වැරදුණා විය යුතුය. කල යුත්තේ වහාම ධර්ම සංගායනාවක් කැඳවා බුද්ධාගම ත්‍රිපිටකය නැවත පොසිටිව් තින්කින් වලට ගැලපෙන ආකාරයට ලිවීමයි.

 බුදුබනේ "අනාත්ම" යනුවෙන් ඉගැන්වෙන්නේ ගැඹුරු දහමෙකැයි කියනු ලැබේ. "අනාත්ම" හෙවත් "මම" "මාගේ" "මගේ ආත්මය" යනුවෙන් ගැනීම අවිඳු අඳුර හෙවත් මරි-මෝඩකම- අවිද්‍යාව නිසා සිදුවන්නකි. පොසිටිව් තින්කින් කාරයන්ට අනුව අහවල් අහවල් ක්‍රම වලින් නොයෙකුත් දේ පැතීම බුද්ධාගමට එකඟය. අපි දන්න බුද්ධගමේ නම් මේ "අනාත්මය" අවබෝධ කරගත් පුද්ගලයා ගැනෙන්නේ සෝවාන් වුවෙකු ලෙසය. "මම" කියා එකෙක් තබා මම කියන එකාගේ සිත යනුවෙන්ද "පවතින යමක්" නැත්තේ යයි බුද්ධාගමේ ඉගැන්වෙයි. පවත්නේ නාම-රූප වල ඉපදී-බිඳී යාමක් පමණක්ම වෙයි. එහෙව් (නැති ) එකාට සබ් කොන්ශස් මයින්ඩ් යනුවෙන් එකක් ඇත්තේයැයි කියමින් ඊට විධාන දෙන්නට අපට උගන්වන නෝනලා මහත්තුරු මේ හතර බීරි කතාව පැහැදිලි කර දෙන්නේ නම් කෙතරම් අගනේද?