Saturday 14 August 2010

චීනාට ලැබුනු ප්‍රවේශ පත්‍රය




සමහර රටවල රාජ්‍ය තාන්ත්‍රික විදේශ සේවය ගරු ගාම්භීර වැදගත් රස්සාවකි. සමහර සිරි ලාංකීය තානාපති කාර්යාල වල ඉන්නා ඉන්ගිරිසිත් බැරි මීහරක් මෙන් නොව, ඒ ඒ රටේ බාසාව දන්නා එකෙක් හිරිමල් වයසේදීම පුරුදු කිරීම මේ රටවල සිරිතය. සමහර විට එකෙක් නොව දෙන්නෙක්ම පුරුදු කරති. උන්ගෙන් එකෙක් එරට එම්බසියේ ස්ථානගත කරන අතරම අනෙකා විදේශ සේවයේ "අහවල් රට පිලිබඳ එක්ස්පර්ට්" ලෙස වැඩකරයි. චීනය මේ අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ඕනෑම රටක නායකයෙක් චීනයට සැපත් වන්නේ නම් ගුවන් තොටුපලේදී ඔහුගේ මවු භාෂාවෙන් ඇමතිය හැකි නිලධාරියෙක් උන්ගේ විදේශ සේවයේ සිටිති.

මේ එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල සිදුවුනා යැයි කියන සිදුවීමකි. ඒ කාලයේ දැන් මෙන් නොව රටේ ප්‍රවාහනය රජයේ ලං.ග.ම ඒකාධිකාරයක්ව පැවති යුගයකි. කතාවේ එන චීන රාජ්‍ය තාන්ත්‍රිකයා නාඹර කොලු ගැටයෙකි. චීන විදේශ සේවයේ නියමයෙන් මේකාට විද්‍යෝදය විස්ස විජ්ජාලයේ අවුරුදු තුනක සිංහල හැදෑරීමට නියම කෙරුනි. ඇස්වාට්ටුව පැත්තේ තනි කාමරයක නැවතී මේකා ටැක්සියකින් විස්ස විජ්ජාලයට එයි. අටෝරාසියක් දුක් විඳිමින් සිංහල භාෂාව ප්‍රගුනකරයි. චීනා ප්‍රියමනාපය. එබැවින් වැඩිකල් නොයා ලාංකීය කොල්ලන් කිහිපදෙනෙකු හා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තේය. කොල්ලන් හා එක්වී චීනා බස්රථ වල යයි. ටිකට් ගන්නේ උගේ අලුත් මිතුරන්ය. චීනා ඒ සඳහා මුදල් ගෙවන නමුත් සිංහල බැරි නිසා බස් කොන්දොස්තර හා කතා බහට අකැමැතිය. දැන් ටැක්සියේ යන්නේ තනිවම යන ගමනකදී පමණි.


කාලයත් සමඟ චීනා බැරි මරගාතේ සිංහල හසුරුවන්නට ඉගෙනගත් නමුත් උගේ වැඩි කැමැත්ත පැරැණි සිංහලයට
. කථිකාචාර්‍ය වරුන් කිහිපදෙනෙක්ම මේ පිලිබඳව අවවාද කලත් චීනාගේ එදිනෙදා ජීවිතයේ කතා බහ පැරණි සිංහලයෙන්මය. ඊට හරිහමන් හේතුවක් නොවූවත් තමන් සමඟ සිංහල ඉගෙන ගන්නා "ලෝකල්" සගයන් මේ සිංහලය ට යම් ගරුසරුවක් බියක් දැක්වීම නිසා එයම ප්‍රගුණ කරම්හයි සිතුවා විය යුතුය. කිහිප අවස්තාවකදීම බැචියන් ඉදිරියේ මේ පැරණි සිංහලෙන් සම්භාෂණයට ගිය චීනාට, උන් විශ්මයට පත් කිරීමට හැකිවීම නිසා උපන් ආඩම්බරයද හේතුවක් වූවාට සැක නැත. සමහර විටෙක "රාජ්‍ය තාන්ත්‍රික" පුහුණුව නිසා පැරණි සිංහලය වඩාත් ආචාර ශීලි වීමේ ලක්ෂනයක් යැයි සිතුවා වන්නටද පුලුවන.

ඒ කෙසේ වෙතත් දිනක් චීනා තනිවම විජේරාම හන්දියට පියමැන්නේ ඇස්වාට්ටුවට යන බසයක් අල්ලා ගැනීමටය. දේශීය මිතුරු කැල යම් හේතුවක් නිසා ඌට මග හැරිනි. එදින තමන්ටම බස් ටිකට් පත ගැනීමේ කර්තව්‍යය කරගන්නට වන බව සිහි වුනු චීනා, වඩ වඩාත් ආචාරශීලී වීමට ඉටා ගත්තේය.

138 බස් රථයේ සිටි ටිකට් කඩන කොන්දොස්තර වෙත චීනා ලංවූයේ මුහුණ පුරා මවාගත් සිනාවකිනි. කොන්දොස්තර තොමෝ අඩියක් පස්සට ගත්තේ "මේකා මොකාට එනවාදැයි" සිතමිනි.


"මහත්තය කොහාටද ?" කොන්දොස්තර තෙමේ ටිකට් කඩන මැෂිම කරකවන්නට සුදානමින් ඇසුවේය.

චීනා දිගු හුස්මක් ගෙන උගුර පාදා හඬ අවදි කලේය.

" එම්බා බස් පලුව !!! මට අක්ෂිසායනාගාරයට ප්‍රවේශපත්‍රයක් දෙව !!!"

කොන්දොස්තර තෙමේ අන්ද මන්ද වී ගියේය. චීනෙක් සුද්ද සිංහලෙන් මොනවාදෝ දොඩවයි. එක්කෝ මූ පිස්සෙක් විය යුතුය. නැතිනම් කැම්පස් කොල්ලන්ගේ සංවිධානාත්මක විලම්බීතයක් විය යුතුය. "බස් පලුව.." මෙවැනි අපහාසයක් අවුරුදු 18 ක සේවා කාලය තුල කවරදාවත් සිදුවී නැත. කොන්දොස්තර තෙමේගේ ඉවසීමේ සීමාව පැන්නේය.

"හෑ!!.. මොකක්. බස් පලුව ??! මේ ඕයි! මේක බස්පලුවක් නෙවෙයි. හොඳට බලනව! මේක සම්පූර්න බස් එකක්! "

චීනා එයින් සැලුනේ නැත. කොන්දොස්තර මහතාට තමන් කියූ දේ තේරී නැත. තේරුනා නම් තරහ ගන්නට හේතුවක් නැත. බසයේ රියැදුරුද මගීන්ද තමන් දෙස හැරී බලනු පෙනේ. සමහර විට රියදුරාට තේරුම් ගියහොත්!

"තට නොතේරෙන්නේ නම් කැණියාගෙන් අසව!!!" චීනා වහා කීවේ රියදුරා දෙස බලමිනි.

කොන්දොස්තරට මාරයා ආවේශ විය.

" මොකක්ද කිව්වේ??. කැ_යා!? යකෝ මෙච්චර මිනිස්සු ඉන්න බස් එකේ කුනුහබ්බ කියන්න,.. හිටු තොට !" ටිකට් කඩන මැෂිම පසෙකට දැමූ කොන්දොස්තර තෙමේ ඉදිරියට පැන චීනාගේ කණ හරහා එල්ල කල අතුල් පහරින් ඒකා බිම ඉන්දවිය.

චීනා සහ සිරි ලංකා ජනතාව අතර පලමු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව එසේ නිමවිය.

Wednesday 4 August 2010

වෂී ගුලිය





"අප්පච්චි අප්පච්චි! අන්න අර කොල්ල එනව."
"මොන කොල්ලද බොල?" පොඩි එකීගේ කලබලය යම් කරදරයක පෙරනිමිත්තක් සේ ගුරුන්නාන්සෙට හැඟේ.

"අර කැම්පස් කොල්ලා අප්පච්චී.!"
"මොකාද බොල මට නිනවු නැති හැටි හැබෑට?"

"අර කටුබැද්දෙ ඉඳල එනවා කිව්වේ. අර වෂීයක් කරගන්න සල්ලි දුන්නේ"

"හුටා!!" ගුරුන්නාන්සේ අඩියට දෙකට කාමරය ඇතුලට පැනගත්තේය. වෂී ගුරුකමක් කර ගැන්මට ආ තරුණ ගැටයෙකුගෙන් රුපියල් පහලොස්දාහක් කඩා ගත්තේ මීට සති දෙක තුනකට උඩදී බව ගුරුන්නාන්සේ පසක් විය.

" කොහොමද යකෝ මේක මට අමතක වුනේ??" ගුරාට තම මතකය ගැන මහා කලකිරීමක් ඇති විය. මාස තුනක් පමණ අතේ පිච්චියක් නැතිව වේලි වේලි සිටියදී පෑදුනු මේ "පිනට" පින්සිදුවන්නට සියලු නය තුරුස් සුද්දෙක් මෙන් ගෙවා දැමූ අයුරු මතක් වන විට තාමත් සිතට හීනි ආඩම්බරයක් මතුව එයි.

"අප්පච්චි ගෙදර නෑ කියන්නද??"

" ම්.ම්..නෑ ඇවිත් ඉඳගන්න කියහන්. මම මොකක් හරි ගැටයක් ගහන්නං"

මොහොතක් යන්නට පෙර ගැටයාගේ මෝටර් සයිකලය ගේ ඉදිරිපස නවත්වන හඬද පොඩි එකී හා කෙරෙන ඇල්මැරුනු සංවාදයද ගුරාගේ දෙසවනින් ඇතුල්වුව ගුරාගේ ඔලුවේ වැඩ කලේ මේ මරාලයෙන් ගැලවෙන මගකි.

"යකෝ පුදුම රස්නයක්නෙ" ගුරාට සිතිනි. සුමානයකින් හමාරකින් ඇඟට වතුර දෙකක් දමාගැන්මට නොහැකිවූ බව මතක් වුයේ සර්වාංගයෙන්ද පාන්කඩ වූ සරමෙන්ද නගින හඩු ගඳ නිසාවෙනි.

"කොහොම හරි බොරුවක් කියල තව කල් ගත්තනං.." ගුරා වම් අතේ මවිල් අතර වූ දාඩිය මිශ්‍ර කුනු දකුනතින් රෝල් කලේ යම් උප්පරවැට්ටි අදහසක්, ගල් පැලෙන බොරුවක් ඔලුවට එන තෙක් කල්මරමිනි. දහඩිය නිසා එකට ඇලෙන සම්-කුනු ගුලිය මදටිය ඇටයක් තරම් වන්නට වැඩි වෙලා නොගියේය. හදිසියේම ගුරාට ගණ දෙවි නුවණ පහල විය. දකුනතේත් පපුවේත් දහඩිය-කුනු ගුලි එකතු කරමින් කුනු ගුලිය රටකජු ඇටයක ප්‍රමාණයට වර්ධනය කල ගුරා ඉන් නොනැවතී කිහිලි වලද, සරම උස්සා ඉකිලි වලද කුනු එකතු කරමින් එය මිදි ගෙඩියක් පමනට ගෙන ආවේය. දැන් ඉතින් තවත් හැංගිමුත්තං කෙලීමේ තේරුමක් නැත.

"ආ! මේ මහත්තය නේ ..මං ඒත් කල්පනා කරා වැඩේ ඉවර වෙලත් තාම පරක්කු ඇයි කියල."

ගැටයා ලැජ්ජාවෙන් ඇඹරෙයි. "නෑ මේ දවස්වල මේ විභාග..ඒකයි."

"මහත්තයා වැඩිය කතා ඕන්නෑ, මේන්න මේ කොලේ ඇතුලෙ තියෙනවා පන්ලක්ෂහතලිස්දාස් වාරයක් ජීවම් කොරාපු වෂී ගුලිය. දැන් කොරන්න තියෙන්නෙ මහත්තයගෙ හිසකේ පොඩ්ඩක් මේකට එකතු කරල ගෑනු ලමයට කවෝන එකයි."

"එච්චරයි?" ගැටයා අසන්නේ විශ්මයෙනි.

" ඔව් වොව් වොව්,..හැබැයි ඔක්කෝම ටික ඇඟට ඇතුල් වෙන්ට ඕනෑ ප්‍රතිපල ලැබෙන්න නං."

ගැටයා ගුලිය මහත් භක්තියෙන් අතට ගෙන ප්‍රවේශමෙන් තම මල්ලේ තැන්පත් කරයි.

"මේක තියාගන්නකෝ" ගැටයා රුපියල් පන්දහසක් ගුරා අත තබයි.

" නෑ ඕනැන්නෑ මහත්තයෝ" ගුරා එය සාක්කුවෙ දමාගන්නා ගමන් කියන්නේ බයාදු හඬිනි."

"එහෙනම් මං ගියා. වැඩේ කෙරුනොත් ඉතුරු හරිය..ආ!"
ගැටයා දඩුමොනරයේ නැගී නොපෙනී යයි.
--------------------------------------------------


"යකෝ ආන්න අර කොලුගැටය, ඊයෙත් උඹව හොයං ගෙදර ආවයි කියන්නේ" සියදෝරිසා කියන්නේ හරියට බලා සිටියාක් මෙනි.

"බං, මම ගෙදර හිටියා. එලියට නාවට" ගුරා ඔලොක්කු සිනාවකින් මුව සරසා ගනියි.

"මේ බලහං, ඕකුන් කැම්පස් කොල්ලෝ. ඕකුන් රවට්ටන්න ගිහිල්ල අපි හැමෝටම සම්බුව හම්බෙයිද මන්දා..ඌ යනිං ගමන් මාගරට්ලගෙ කඩෙන් අහල තියෙනවලු උඹ ගැන..ලොකු හදිස්සියකින් ඉන්න පාටයි පෙනිල තියෙන්නේ"

"කාට කාටත් කියහල්ල මං නිදන් හාරන වැඩකට ගිහින් එන්නෙ කවද්ද කියල කියන්න බැහැයි කියල..අපෙ කෙලිටත් ඔය කතාව කියන්න කියල තියෙන්නෙ..පාරක් දෙකක් ඇවිල්ල ඕකටම ඇති වෙලා නවතියි" ගුරුන්නාන්සේ කියන්නේ සිත තුල නැගී එන බිය මුසු දෙගිඩියාව මැඩගනිමිනි.
-----------------------------------------------

පීටර්ගේ "බොකුදිරාස්" වීදුරු දෙක තම සිත තුල හොල්මන් කරන අභූත සිතුවිලි සියල්ල අමතක කරවන බවක් ගුරාට හැඟෙයි.

"කැම්පස් වුනා නැතා..කොල්ලෝ කොල්ලොමයි..ඕවා කරල හැදෙනව මිසක් මිනීමරන්නෑ නෙව"

"ආ ..ගුරුන්නාන්සේ...අයියෝ මම කොච්චර දවස් ආවද හම්බෙන්න."
ගුරාට උතුර දකුන නිනව්වක් නැත. මේකා මතු වූයේ කොහෙන්ද? ගැටයා මග රැක සිටියාවත්ද?..

"අ..ආ ම.මම මේ නිදන් වැඩකට.."

"ඔව් මට කිව්ව" ගැටයාගේ හඬේ ඇත්තේ මිතුරු නාදයකි. මොන විගඩමක් වෙන්නට යන්නේදෝයි ගුරාට සිතා ගත නොහැක.

"මෙන්න ගුරුන්නාන්සේ ඉතුරු විසිදාහ..මේක දෙන්න මම කීපාරක් ආවද..ගනන්කරල බලන්න."

"හෑ??..මහත්තය හැබෑට මොකෝ වුනේ"

"වැඩේ හරි, ලමය කැමැත්ත දුන්න" ගැටයා පවසන්නේ රටක් රාජ්ජයක් දිනූවෙක් ලෙසිනි.

"..අර ගුලිය..ඔක්කොම.?"

" ඔව් ඔව් ඔක්කොම ටික ගිල්ලෙව්ව අයිස් ක්‍රීම් එකකට දාල"

ගුරුන්නාන්සේට මහා පිලිකුලක් දැනෙයි. පීටර් ගේ "සුදු ෆැන්ටා" බුලියේ දියවී සිටි ගැරඬියා දුටු දිනයේවත් මෙතරම් පිලිකුලක් ගුරාට දැනී නැත. ඔක්කාරයට එන්නාක් මෙනි.

"එහෙනං මං ගියා."

"හොඳමයි මහත්තයෝ..තව යාලුවෝ හෙම ඉන්නවනං එක්කං එන්ඩකෝ." ගුරා කියන්නේ බෙල්ලේ සිට කන දක්වාවු ප්‍රදේශය පිරිමදිමින් තඩි කුනු ගුලියක් එකතු කරන අතරතුරය.